Sunday, June 3, 2012

බලු නොවටින (සම හරක්) මාධ්‍ය (නිදහස)


ඔබගේ බිත්ති වලට කතා කල හැකිනම් ඒවා කුමක් පවසයි ද...?


- මම එකම කන්නාඩිය අවුරුදු 13 ක් ම එල්ලගෙන ඉන්නවා...
- මාව දම් පාට ඩයිනසෝරයන්, බේස් බෝල කණ්ඩායම් වල පින්තුර වලින් සහ ෆූට් බෝල හෙල්මට් වලින් සරසලා තියනවා...
- මම සාක්ෂි දරනවා නත්තල් කෑම මේස 33 කට සහ එක විවාහ යෝජනාවකට...
- මට තියනවා ළමයින් තුන් දෙනෙක් ළමා කාලේ කරපු පුංචි පුංචි කඩතොළු...
- මම තමයි එක ළමයෙකුට ඉගෙන ගන්න බැරි වෙන්න (learning disability) හේතුව...
- මම වගකියන්න ඕනේ පහේ පන්තියේ ඉන්න අයට එක විදිහකට වාඩි වෙලා එක දේකට හිත යොමු කරන්න බැරි එකට...
- මම තමයි එක ළමයෙකුගේ කන් ඇසීමේ අඩුවට...
Hearing Loss :60


මේ බටහිර රටක ගුවන් විදුලියේ නිතර දෙවේලේ ගුවන් ගන්නා දැන්වීමකි. නිවසේ අලේප කර තිබෙන තීන්ත වල ඊයම් නිසා දරුවන්ගේ වර්ධන දුර්වලතාවයන් ගැන ජනතාව දැනුවත් කිරීම මෙම දැන්වීමේ අරමුණයි. 1978 ට කලින් නිපදවන ලද නිවාස වල ඊයම් විෂ වීමේ අවධානම ගැන කියන්නකි. 1978 වසරේදී මෙම බටහිර රටේ නිවාස වල අලේප කරන තීන්ත වලට ඊයම් පාවිච්චිය තහනම් කර ඇත්තේ එයින් කුඩා ළමුන්ගේ වර්ධනයට ඇතිවන බරපතල හානි අවම කරගැනීම සඳහාය. ගැබිණි කාලයේ පටන්ම මෙම ඊයම් විෂ වීම බලපෑ හැකි අතර, එය නොමේරු දරු උපත් වලට මෙන්ම, සංකූල දරු උපත් සඳහාද හේතු වෙයි.

මෙම සටහන තැබීමට සිත් වුයේ දැනට සති කීපයකට කලින් කැළණි ගංගාවේ මතුවුවයි කියන රන් ඉල්ලම ගැන පුවත් පතක පළවූ ලිපියක් කියවීමෙන් පසුවය. එම ලිපියේ සඳහන් ආකාරයට, කැළණි ගං පතුලෙන් මතුවන රන් පිරිසිදු කර ගැනීමට ජනතාව රසදිය පාවිච්චි කරති. රසදිය යනු පෙර දැන්වීමේ සඳහන් ඊයම් වලටත් වඩා භයානක ලෝහයකි. රසදිය ඉතා අල්ප වශයෙන් සිරුරට ඇතුළු වීම නිසා ඇතිවන රෝගාබාධ ලැයිස්තුව දිග එකකි. කෙස්, දත් සහ නියපොතු ගැලවී යාම, හමේ දද ඇති වීම, මාංශ පේශි දුර්වල වීම, වකුගඩු අක්‍රිය වීම, දහසකුත් එකක් ස්නායු අබාධ ඒ අතරින් කීපයකි.

නමුන් මේ වැනි විෂ සහිත දේ මිනිසුන් එදිනෙදා වැඩ කටයුතු වලට පාවිච්චි කරන්නේ ඇයි? බල්ලන් මරා හෝ මුදල් හෙවීම මුලික කාරණය වුවත්, තමනුත් තම දරුවනුත්, එම දරුවන්ට ඉදිරි පරපුරක් බිහි කිරීමට නොහැකි තැනට වැඩ සලසන මෙවැනි දේ කිරීමට නොදැනුවත් කමද මූලික හේතුවකි. 

මිනිසුන් දැනුවත් කරන්නේ කෙසේද? 

එදා වේල හම්බ කරගන්නට දහම් ගැට ගසන මිනිසුන්ට පන්ති තියා උගැන්වීමට බැරිය. ඇරත් ඉස්කෝලේ පන්ති 12 හරියට කරගන්නට බැරි අධ්‍යාපන දෙපාර්තමේන්තුවකට හෝ ඉස්පිරිතාලේ කචල් එකක් නැතුව සතියක් දුවාගන්නට බැරි සෞඛ්‍ය දෙපාර්තමේන්තුවකට හිතන්නටවත් බැරි දෙයකි.

අපේ රටේ අට අනුවක් රේඩියෝ චැනල් ද එයින් අඩක් පමණ ටීවී චැනල් ද දිනපතා, සති පතා ගහන පත්තර බර ගානක්ද ඇත. බස් එකේ, ත්‍රී වීලරයේ පමණක් නොව පාරේ ඇවිදිනකොටද මෙව්වා මිනිසුන් පසු පසමය.

රන් පිරිසිදු කිරීමට රසදිය පාවිච්චිය හිටි අඩියේ ඇති වූ එක් සිද්ධියක් පමණි. 

මිනිසුන් ලෙඩුන් කරවන, හය හතර නොතේරෙන දරුවන් උපදින්නට කලින් සිටම අබාධිත, මොලය දුර්වල, මතක ශක්තිය අඩු සහ නමක් කියන්නට නොදන්නා ලෙඩ රෝග උරුම කරවන විෂ කොපමණක් නම් අප එදිනෙදා පාවිච්චි කරමුද? 

ඒ වෙනුවෙන් හඬක් නගන්නට මේ මාධ්‍ය වලට බැරි ඇයි...? 

මාධ්‍ය නිදහස නැති නිසාද? 

'රන් පිරිසිදු කිරීමට රසදිය පාවිච්චිය බලාගෙනයි!' කියා හෙට පුවත්පතේ හෙඩිම දැමීම සුදු වෑන් වලින් පැහැරගන්නා වරදක් නිසාද? 

මළ ගෙයක් දුටු තැන මළ කුණ රස කර කර පුවත් අඩහෝරාවෙන් අඩකම තලු මරනවා වෙනුවට උපදින්නට සිටින දරුවන් වෙනුවෙන් විනාඩි 5 වෙන් කිරීම රේටින්ග් අඩු කර ගැනීමක් ද?

I don't know why...

8 comments:

  1. Oba kiyana eka sahathika aththa.Lankava [kana]palanaya karana aya diha balala kiyanna thiyenne ekama de thama, I dont know why...

    ReplyDelete
  2. තමන්ට වාසියක් නොවෙන කිසිම දේකට අද මාධ්‍ය ආයතන අත ගහන්නේ නෑ!

    ReplyDelete
  3. ඒක ආන්දෝලනාත්මක නෑනේ. ෆෝන් එකේ කෘමීන් ඉන්නව කිව්වම රට ගිණි තියන්න පුළුවන්. අන්න ඒ වගේ නිව්ස් වලට විතරයි ඉඩ.

    ReplyDelete
  4. මුලින්ම සදහන් කල පිටරට මාධ්‍යය වල ප්‍රචාරය වන දැන්වීම lead free kids යන ආයතයෙන් ප්‍රචාරය කරන්නක් මිස එම මාධ්‍යය විසින් ස්වේච්ඡාවෙන් ප්‍රචාරය කරන්නක් නෙමෙයි නේද?

    ReplyDelete
    Replies
    1. ගුවන්විදුලියේ කියන්නේ ad council නම් ආයතනයකින් ප්‍රචාරය කරවන බවයි. ad council ආයතනය රාජ්‍ය නොවන ලාභ නොලබන ආයතනයක් (සිංහලෙන් කියනවා නම් අධිරාජ්‍ය වාදී විදේශීය කුමන්ත්‍රණ කාරී බලවේගයක්). නමුත් ad council ආයතනයෙන් ප්‍රචාරය කරන දැන්වීම් වල ප්‍රමාණය සලක බැලුවොත් අනිවාර්යයෙන්ම මාධ්‍ය ආයතනවල යම්කිසි අනුග්‍රහයක් තිබිය යුතුමයි. එපමණටම ජනතාව දැනුවත් කරන දැන්වීම් ප්‍රචාරණය වනවා.

      තවත් යමක් කිව යුතුයි; මෙහි පොදු මාධ්‍ය ආයතන එක වී සාදාගත් බොහෝ බලගතු මාධ්‍ය ජාලයක් (Public Broadcasting Service - PBS) තියනවා. එම මාධ්‍ය ආයතන වලින් ප්‍රචාරණය කරන වැඩසටහන් වල තත්වය සහ අගය ඉතාම ඉහලයි. අපේ රටෙත් මෙම ආයතනයේ අනුග්‍රහයෙන් ප්‍රචාරණය වූ වැඩසටහන් බොහෝ කලකට ඉහත රුපවාහිනියේ විකාශය උනා.

      Delete
  5. ඔයාගේ ලිපිය වැදගත්.ඒනිසා මම කියෙව්වා. අදහස් දැක්වීමෙන් පවතින තත්වයේ කිසිම වෙනසක් වෙන්නේ නැති නිසා මොකුත් කියන්නැතුව ඉන්නම්. ජය..!

    ReplyDelete
  6. //මළ ගෙයක් දුටු තැන මළ කුණ රස කර කර පුවත් අඩහෝරාවෙන් අඩකම තලු මරනවා වෙනුවට උපදින්නට සිටින දරුවන් වෙනුවෙන් විනාඩි 5 වෙන් කිරීම රේටින්ග් අඩු කර ගැනීමක් ද?//

    කරුමෙකට වගේ උත්තරේ ඔව් වෙන්නැති ! නැත්නම් මෙහෙම වෙයි ද ?

    ReplyDelete
  7. මිනිසුන්ගේ ආතල් එක කඩන්න පත්තර කැමති නෑ.
    ආතල් එක කඩන පත්තර මිනිස්සු ගන්නෙ නෑ,
    ආතල් කඩන් ටී වී චැනල්, රේඩියෝ මිනිස්සු
    අහන්නෙ බලන්නෙ නෑ

    ReplyDelete