Wednesday, May 2, 2012

මිරිස් තුනපහ - Old Spice


අපි හොඳට කටට සැරට කන්න පුරුදු ජාතියක්. දකුණු පළාතට යනකොට දුම් දමන මිරිස් මාළු හොදි වගේම රට මැදට වෙන්න රක්ත වර්ණ වෙල් මාළු හොදි එදිනෙදා ජීවිතේ නොවරදින කෑම. මේ උදේට හවසට කිරිබත්, පොල් රොටි කන්න ගන්න කට්ට සම්බෝලේට අමතරව. ඇයි පොල් සම්බෝල. පොඩි දරුවෙකුට හරි එහෙමත් නැත්නම් ලෙඩක් හැදුන කෙනෙකුට තමා මේ වට්ටෝරුව ටිකක් වෙනස් වෙන්නේ.


කීර්තිමත් රාජ්‍ය නිළධාරියෙක් වෙච්ච බ්‍රැඩ්මන් වීරකෝන් මහත්තය ලියපු 'අරලිය ගහ මැදුරේ ස්පන්දනය' කියන පොතේ කියල තියෙන්නේ - ලාංකිකයාට කටට සැරට මිරිසට කෑම නොකෑවොත් බඩ පිරෙන්නේ නැහැ කියලයි. ඒ බව තහවුරු කරන්නට වරක් පිටරටින් ගෙන්වන වියලි මිරිස් වල මිල ඉහල දැමීම ආණ්ඩු පෙරළියකට හේතු වූ අන්දම එහි හොඳින් පැහැදිලි කර තිබෙනවා.


ලංකාව වයලී මිරිස් වලින් ස්වයංපෝෂිත නැහැ. ඉතින් මේ අඩුව පුරවන්න පිට රටින් මිරිස් ගෙන්වන්න ඕනේ. මේ වෙනකොට අපි කොයි තරම් වියලි මිරිස් වලට ඇබ්බැහි වෙලා තිබ්බත්, මීට අවුරුදු දෙතුන් සියයකට උඩින් අපි වියලි මිරිස් කියල දෙයක් පාවිච්චි නොකරපු බවත්, ඒ කාලේ ඉන්දියාවෙන් මෙහෙට ගෙනාපු මිනිස්සුන්ගෙන් අපිටත් වියලි මිරිස් පුරුදු උනා කියලත්, මිරිස් ඉතිහාසය ගැන පත්තරේක පළවුන ලිපියක තිබ්බා.


අපි මිරිස් කන හැටියට වෙන රටවල් වල මිනිස්සු මිරිස් ලෙවකනවා කියල හිතෙන්නේ අපේ රටට එන බටහිර සංචාරකයෝ අපේ සාමාන්‍ය කෑම කනකොට බැදපු ඉස්සෝ වගේ රතු වෙලා, ඉහින් කනින් දාඩිය දාන හැටි දැක්කහමයි. ඒවා දැක්කහම අපිට ඉතින් හරි ජොලි, මුන්ට හරියකට කෑමක් වත් කන්න බැහැ කියල.


අපිටත් ඉතින් වෙන රටවල් වලට ගියහම අපේ වැඩ පෙන්නන්න පුළුවන් එක ක්‍රමයක් තමයි මේ මිරිස් කෑම.


සාමාන්‍යයෙන් මේ රටවල් වල හොටලෙකට ගිහින් කෑමක් ඉල්ලනකොට, කොයි තරම් සැරට ඕනෙද කියල අහන එක පුරුද්දක්. එකේ ඉඳල පහට හරි, අඩුවෙන්ම, සාමාන්‍ය, උපරිම කියල තමන්ට ඕනේ කරන සැර ප්‍රමාණය ඉල්ලන්න පුළුවන්. මේ වගේ වෙලාවක සැර මට්ටම පහ හරි උපරිම කියල කිව්වහම, තමන් එක්ක ඉන්න අනිත් ලංකාවේ නොවෙන අයට විතරක් නෙමෙයි වේටර් ගෑනු ළමයටත් 'වාවු!' කියල කියල කියැවෙන හැටි බලන්න ආස හිතෙනවා.


සමහර වෙලාවට කඩේ කට්ටිය ඇත්තටමද, ෂුවර්මද කියල අහන්නත් අමතක කරන්නේ නැහැ. එතකොට ඉතින්, අපේ රටේ කන්නේ මෙහෙමයි කියල පම්පොරියකුත් ගහන්න පුළුවන් ඕනේ නම්. ඊට පස්සේ ඉතින් මිරිස් සැරට කන්නයි තියෙන්නේ.


අපේ කෑම රස කරන්න අපි බොහොම තද රසවල් තියන තුනපහ වගේ දේවල් පාව්ච්චි කරනවා. එත් මේ බටහිර රටවල් වල ඉන්න එවුන්ට කොහෙද එච්චර වාසනාවක්. හැම දේටම ලුණු ටිකක් ඉහගෙන කන්න තමයි පුරුදු වෙලා ඉඳල තියෙන්නේ.

එහෙම දිය රහට කාල කාල එපාම වෙච්ච වෙලාවක තමා නැවු එහෙම හදාගෙන අපේ රටවල් වලට ඇවිල්ල අපිවත් විනාස කරලා අපේ රටවල් වලින් කුළු බඩු අරගෙන ගියාය කියන්නේ.


දැන් ඔන්න ඕක තමා ප්‍රශ්නේ. මේ රටවල් වල කෑම වට්ටෝරු වල තියෙන්නේ බොහොම පුංචි රසවල් දෙක තුනක්. ඇයි ඉතින් කුළු බඩු හිඟයි නේ. නැවෙන් එනකන් ඉන්න ඕනේ. ලුණු, ගම්මිරිස්, චීස්, සුදුලූනු ඇරුණහම එදිනෙදා කාලෙට වැවෙන පොඩි පොඩි කොළ ජාති දාල තමා මේ අයගේ කෑම රස වෙන්නේ.


ඉතින් අපි ගිහින් අපේ ලොකු කමට මිරිස් ලෙවෙල් එක පහට දාගත්තහම අර කියන පුංචි රසවල් මෙලෝ දෙයක් අපිට දැනෙන්නේ නැහැ.