Sunday, February 26, 2012

රාජපක්සට එරෙහිව ඇමෙරිකාව, බිරිතාන්‍ය සහ ඔස්ට්‍රේලියාව (Rajapaksa vs US, UK and Australia)

මුලින්ම කියන්න ඕනේ මේක පොඩි ප්‍රමෝෂන් අතේ වැඩක් කියලා...

සෙනසුරාදා ඉරිදට සතියේ දවස් වලටත් වැඩිය වැඩ. කඩේට යන්න, රෙදි හෝදන්න, කෑමක් බීමක් හදාගන්න, යාලු මිත්තරයෝ හම්බුවෙන්න යන්න, ගෙදර පොඩි පොඩි වැඩ කරන්න කීයක් දේවල්ද. මේ අස්සේ පොඩි විවේකෙකට කියල යන්තම් ටිකක් රුපවාහිනියේ යන්නේ මොනවද කියල බලන්නත් අමතක කරන්නේ නැහැ.

මම වැඩිය කැමති සඟරාමය වැඩසටහන් බලන්න. ටෙලියක් නම් (කන්දේ ගෙදර බැලුවට පස්සේ) බලපු කාලයක් මතක නැහැ. මේ වෙලාවට පිහිටට එන්නේ සංචාරක නාලිකාවයි, කෑම නාලිකාවයි, ඩිස්කවරි නාලිකාවයි තමා. ඩිස්කවරි නාලිකාවේ දැන් කාලෙක ඉඳල ලොරි කාරයෝ ගැන වැඩසටහන් මාලාවක් යනවා.

යුරෝපයේ, ඕස්ට්‍රේලියාවේ වගේම විශේෂයෙන් ඇමෙරිකානු මහද්වීප දෙකෙත් භාණ්ඩ ප්‍රවාහනයට වැඩියෙන්ම යොදාගන්නේ මහා විසාල ලොරි. ටිකක් විතර අපේ රටේ කන්ටේනර් අදින ලොරි වගේ ඒවා.හැබැයි අපේ ඒවාට වැඩිය සැහෙන්න ලොකුයි.

මේ ලොරි රස්සාව සැලකෙන්නේ බොහොම කර්කශ අමාරු එකක් හැටියටයි. ලොරි එලවන්න බලපත්‍රය ගන්න වෙනම පාඨමාලාවක් හදාරන්න ඕනේ. ඒක මාසයක් දෙකක් ගතවෙන වැඩක්. ඊට පස්සේ බලපත්‍රය ලබාගන්න පුළුවන් උනත් රැකියාව කරන්න බැහැ.

රැකියාව ඕනේ නම් තවත් මාසයක විතර නේවාසික පුහුණුවක් ගන්න ඕනේ. මේ පුහුණු කාලේදී ගෙදර යන්න බැහැ. පළපුරුදු රියදුරෙක් එක්ක මාරුවෙන් මාරුවට ලොරිය හෙවත් ට්‍රක් හෙවත් ඉංගිරිස් එකෙන් 'බිග් රිග්' එක එලවන්න ඕනේ රට වටේම. ඒ නිකම් නෙමෙයි බඩු එහෙ මෙහෙ අරගෙන යන ගමන්.

පුහුණුවෙන් පස්සේ ලොරි සමාගමක ලියාපදිංචි වෙලා ලොරියක් එලවන්න පුළුවන්. මේ බොහොමයක් ලොරි වල රියදුරාට නිදාගන්න පොඩි කුටියක් රියදුරු අසුනට පිටිපස්සෙන් තියනවා.

ලොරි සමාගම් වල තියන නීතියක් තමයි එක දිගට පැය 8 කට වැඩිය ලොරි එළවීම තහනම්. අනිවාර්යෙන්ම ඊළඟ පැය 8 විවේක ගතයුතුයි. ඉතින් මේ ලොරි රියදුරෝ කොහේ හරි පාර අයිනක නවත්තලා නිදාගන්නවා තමන්ගේ ඊළඟ කාල රාමුව එනකන්. එක නගරෙකින් බඩු පටවාගෙන තව නගරෙකට ගිහින් ඒවා බාන්න ඕනේ. ඊට පස්සේ ඒ අහල පහලින් තවත් බඩු තොගයක් පටවාගෙන තවත් නගරෙකට. මේ විදිහට රට වටේම යන්න සිද්ද වෙනවා. ගෙදර එන්න හම්බවෙන්නේ බොහොම කලාතුරකින්.

ඉතින් මේ වගේ රැයක් දවාලක් නැති රස්සාවක් කරන්න යන්නේ ටිකක් අමාරු කාරයෝ තමයි. රැවුල් වවාගෙන කොන්ඩේ වවාගෙන තුවක්කුවක් තමන්ගේ අසුන යට තියාගෙන තමා මේ ගොඩක් රියදුරෝ ඉන්නේ. කලාතුරකින් රියදුරියොත් ඉන්නවා. හැබැයි ගොඩක් දෙනා දැක්කහම බය හිතෙන වර්ගයේ. එහෙම නැතුව මේ රස්සාව කරන්න අමාරුයි.
 
ඉතින් දැන් මේ ඩිස්කවරි නාලිකාවේ යන වැඩසටහන් වල පෙන්නන්නේ තෝරගත්තු ලොරි කාරයන්ට අමාරුයි කියල හිතෙන පාරවල් වල බඩු අදින්න තරඟ සංවිධානය කරන එකයි.

එක පාරක් තිබබා ඇලස්කාවේ සීත කාලේදී මිදුන ගංගාවල් පාරවල් විදිහට යොදාගෙන බඩු ප්‍රවාහනය කරන එකක්. ඒ විදිහට බඩු ගෙනියන්න පුළුවන් අධික සීතල කාලෙට විතරයි.

තව එකක තිබ්බේ ඉන්දියාවේ කඳුකර පළාතකට බඩු අදින්න. කන්දේ පාර බොහොම පටුයි. බොහෝ තැන වල එක පාරකට වාහන දෙකකට මාරු වෙන්න ඉඩ මදි. ඒක පැත්තකින් මාරාන්තික හෙළ. නාලිකාවෙන් කරන්නේ වෙන රටවල් වලින් කට්ටිය ගෙනල්ල නාට්‍යනුසරයෙන් මේ වැඩසටහන පටිගත කරන එකයි.

හැබැයි මේ කියන හැම පාරකම එදිනෙදා ජීවිතේ ලොරි එලවන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු ගැන නම් කවුරුත් කතා කරන්නේ නැහැ. තරගෙට යන අය තමයි වැඩ කාරයෝ කියල කියන්නේ.

ඉතින් මමත් උඩින් පල්ලෙන් රුපවාහිනිය බලන ගමන් මේ ලොරි කාරයන්ගේ අලුත් වැඩසටහනක් ගැන පොඩි හැඳින්වීමක් ගියා. වැඩසටහනේ නම ඇවිල්ල ලෝකයේ ලොරිකාර තදයෝ. අට දෙනෙක් වැඩේට සෙට් වෙලා ලු. එකා එකා පෙන්නනවා, එක එක රටවල් වලින් ආපු.

මෙන්න බොලේ කළු කෙට්ටු එකෙක් ලොරියක් එලවනවා සිංහ කොඩියකුත් ගහගෙන! ඇඟ පුරා පච්ච කොටගෙන, තොප්පියක් දාගෙන හීනියට පොඩි සුදු රැවුලක් කට වටේ වවාගෙන. නම දානකොටත් ලංකාවේ කොඩියක් එක්ක තමයි නම දාන්නේ සෝලා රාජපක්ස කියල.

මෙන්න ඉන්නවා කට්ටියම.

දවස් දෙක තුනක් යනකොට මේ වැඩසටහට ටොප් ලිස්ට් වෙලා.
 

හැබැයි ඉතින් අපේ මනුස්සයට වැඩිය දුර යන්න උනේ නම් නැහැ. තමන්ගේ ඇමෙරිකානු සගයා ගේ වැරදි නිසා. ඒකෙන් මේකෙන් දැන් අඩු ගානේ ඇමෙරිකාවේ මිනිස්සු සැහෙන පිරිසක් දන්නවා ලංකාව කියල පොඩි රටක් තියනවා කියල වත්.

හෙට අනිද්දට ලංකාවේ හන්දියක් හන්දියක් ගානේ උද්ගෝෂණ රැල්ලක් කරන්න නේ හදන්නේ. ලෝකෙටම ඇහෙන්න මොනවදෝ කියන්න. බලමුකෝ ඒ රාජපක්සලා කියන දේ ඇහෙයි ද කියල මේ රාජපක්සට වැඩිය සද්දෙන් කියලා...

ජයාරූප උපුටාගැනීම: http://tractors.wikia.com

Wednesday, February 22, 2012

කන්න දෙනව නම්...


මොහාන් සමරනායක යනු බොහෝ අසු පිරු ඇත්තෙකි. වියත් කථිකයෙකි. අප නොදන්නා බොහෝ දේ ගැන දැනුම බෙදා දෙන්නෙකි. මේ ඔහු පැවසු කතාවකි:

Mexicans are a fucked nation... මෙක්සිකන් ජාතිය මහා මුස්පේන්තු කාලකන්නි ජාතියක්.
They never stopped being fucked. කවදාකවත් ඔවුන් ඒ කාලකන්නි භාවයෙන් මග හැරෙන්නේ නැහැ.

මේ උගත් වියක්ත පුද්ගලයා සභාවක් ඉදිරියේ ඉංගිරිසියෙන් වුවත් F වචනය පාවිච්චි කිරීම මට අදහාගත නොහැකි විය. ඔහුගේ දේශනයේ හරය වුයේ ලාංකිකයන් වශයෙන් අපට වී ඇති දේ විස්තර කිරීමයි. එහි තිබු එකඟ නොවිය හැකි කිසිවක් නොවිණ!

මම අඩ අඳුරු උත්සව ශාලාවට ඇතුළු විණිමි. රවුම් මේස ගණනාවක් වටා එක් එක් පිරිස් අසුන් ගෙන සිටිති. ශාලාව පුරා අසා පුරුදු වුවත්, කිසියම් සියුම් වෙනසක් ඇති සංගීත රාවයක් ඇදී යයි. මගේ මිතුරන් වාඩි වී සිටි මේසය වෙතට ගොස් හරි බැරි ගැසී අසුන් ගත් මම වට පිට හොඳින් නිරීක්ෂණය කිරීමට පටන්ගත්තෙමි.

මේස වටා වාඩි වී සිටින සමහරෙක් දන්නා අඳුරන අයවලුන්ය. ඔවුන් මා මෙන්ම මනමාල පාර්ශවය නියෝජනය කරයි. පිරිමි සියලු දෙනාම පාහේ සම්පූර්ණ යුරෝපීය ඇඳුමින් සරසි සිටිති. කාන්තාවෝ සාරි, ඔසරි වලින් මෙන්ම ගවොම් වලින්ද අලංකෘතව නියපොතු, තොල් මෙන්ම මුහුණුද හොඳ හැටි ඔප ගන්වාගෙන සිටිති. කොණ්ඩා මෝස්‌තර ගැන කීමට වචන නැත. විවිධ විවිධ වර්ගයේ හැඩ තල ඔලු ගෙඩි මත මැවි ඇත. හොඳින් දන්නා අයද අද අඳුනා ගැනීමට ලෙහෙසියෙන් බැරිය.


කිහිප දෙනෙක් සමග දෑසින් කතා කල මම මනමාලියගේ පාර්ශවය දෙස නෙත් හෙලිමි.

කාන්තා පක්ෂය මනමාලයාගේ පාර්ශවයට දෙවෙනි නැත. එකම වෙනස සියලු දෙනාම ගවොම් හෝ කලිසම් වලින් සැරසී සිටීමය.මුහුණු, නිය, තොල් සහ කොණ්ඩා අපගේ පාර්ශවයට සම සමව හෝ ඊටත් වඩා ඉදිරියෙන් තැබිය හැකි මට්ටමක ඇත.

එමෙන්ම තරුණ වියේ සිටින බොහෝ කාන්තාවන් ඉතාම සුරුපිනියෝ වෙති. මැදි වයසේ කාන්තාවෝද ඉතාමත් හොඳින් තම රූ සපුව නඩත්තු කරනු පැහැදිලිව පෙනේ.
 

අහෝ මෙවන් සුන්දර ලලනාවන් සමග සිටින ස්වාමි පුරුෂයෝ!

සියල්ලෝම මේසන් බාස්ලා මෙන්ය. අධික ලෙස කය වෙහෙසා වඩා කරන බව මුහුණෙන් හොඳ හැටි පෙනේ. නමුත් අපේ බාස්ලා මෙන් සරම ඇඳ බුලත් හපයක් හෝ බීඩියක් ගසාගෙන නොවේ. සියලු දෙනාම පාහේ ඩෙනිම් සහ අත් දිග කමිස ඇඳ සිටිති.

එමෙන්ම බහුතරය කවු-බෝයි තොප්පි සහ ඉදිරියෙන් උල් වූ කවු-බෝයි පාවහන් පැළඳගෙනය. සෑම පවුලකම අවම වශයෙන් කුඩා දරුවන් දෙතුන් දෙනෙකි.



ශාලාවට ඇතුළු වන පෙදෙසට විරුද්ධ කොටසේ මැදට වන්නට කුඩා වේදිකාවකි. එහි සංගීත කණ්ඩායමකට අවැසි මෙවලම් එකලස් කර ඇත්තේ තවත් නොබෝ වෙලාවකින් ප්‍රයෝජනයට ගැනීමට හැකි වන සේය.

සංගීත කණ්ඩායමට උඩින් බිත්තියේ මුහුණට මුහුණ බලාගත් කොඩි දෙකකි. රටවල් දෙකක ජාතික ධජ දෙකකි. එකක හොඳින් දැක පුරුදු රක්ත වර්ණ පසුබිමේ කඩුව අමෝරාගත් සිංහයා ය. අනෙකේ නිල් සුදු සහ නිල් වර්ණයේ ඉරි තුනකි. කාරණා කාරණා දන්නා නිසා එය එල් සැල්වදෝරයේ කොඩිය බව වටහා ගතිමි.

මගේ මිතුරා අතිනත ගන්නේ සැල්වදෝරු යුවතියකි. මේසන් බාස්ලා මෙන් ස්වාමි පුරුෂයන් සමග සිටින සුරූපී අමුත්තියන් සැල්වදෝරු වරුන් ය.

රටවල් දෙකක් යා කෙරෙන මංගල උත්සවය පැවැත්වෙන්නේ තෙවැනි රටකය.

දෙපිරිසම යස ඉසුරු සොයා තම මවු බිමෙන් පිටමන් වුවන් ය. ඔවුන්ට ඇත්තේ සුළු දුරකි. සමහරු පොතේ හැටියටත් සමහරු වැටක් පැන හෝ ගංගාව තරණය කර හෝ තම සිහින සබැ කරගනිති. අපට ලෝකයෙන් අඩක් දුර ගෙවන්නට ඇත. කෙසේ පැමිණියත් අරමුණ එකය. ආවාට පසුව විදින්නට වන දුක් ගැහැට වෙනම කතාවකි.

මොහොතකින් මංගල යුවල සභා මස්ථක වූහ. සංගීත කණ්ඩායම ස්පාඥඥ භාෂාවෙන් ගීතයක් ගැයීමට මුල පිරුහ.

ඔවුන් අසූව දශකයේ රුපවාහිනියේ විකාශනය වූ සිංහල ගීත වල වාදක කණ්ඩායම් සිහින් ගන්වයි. දිලිසෙන ඇඳුමින් සැරසුන සංගීත කණ්ඩායමේ සාමාජිකයන් පස් දෙනෙකි.

ප්‍රධාන ගායකයා බස් අජිත් ගේ සහෝදරයෙකුදැයි කියා සිතෙන තරමටම ඔහුගේ කපාපු පලුවකි. කොණ්ඩයත් එකමය. අයෙක් ගිටාරයක් වයයි. තවකෙක් කොන්ගා නමැති - නන්දා මාලනිය ගේ තරුද නිදන ගීතයේ රූපවාහිනී පටිගත කිරීමේ වයන බෙර යුගලය - වයයි. තවකෙක් ඔර්ගනයට අතක් තබාගෙනය.

නමුත් ප්‍රධාන සංගීත භාණ්ඩය මේ කිසිවක් නොවේ. සහය ගායකයා අත අප මෙදෙක් නොදුටු විරු සංගීත භාණ්ඩයකි. සැබවින්ම භාණ්ඩ දෙකකි. එක අතක අප කුස්සියේ කැරට් වැනි එළවලු සිහින් ඉරු ලෙස සකසාගැනීමට යොදා ගන්නා ග්‍රේටරයකි. අනෙක් අතේ පාන් වල ජෑම්, බටර් ගෑමට ගන්නා පිහියකි. ඔහුට ගීත ගැයිම කෙසේ වෙතත් පිහියෙන් ග්‍රේටරය පීරි ගෑමට නම් උපන් හපන් කම් ඇත්තෙකි.

ඔවුන් ගායන කරන ගීත ශෛලිය 'කූඹියා' නම් වෙයි. රිද්මය 70 දශකයේ නව රැල්ලේ සංගීත රිද්මයන්ට සමානය.



පළමු ගීය නිම වනවාත් සමගම මනමාලියගේ සොහොයුරා සභාව අමතා සියලු දෙනාටම අහාර ගන්නා මෙන් ඉල්ලා සිටියෙයේ.


හත් ඉලව්වයි. අපු ගමන් කන්න? අනික තවම අමුවෙන්!


අපේ ඇත්තෝ එකිනෙකාගේ මුහුණු බැලීමට පටන්ගත්හ. ශාලාවේ කොන් දෙකක මේස දෙකක් දමා ඒ මත නොයෙක් වර්ගයේ මත්පැන් බෝතල් බොහොමයක් අඩුක් කර ඇත. නමුත් ඒ සමගම ඇති පුවරුවක කියවුනේ මත්පැන් පිළිගන්වන්නේ පස්වරු 8 ට බවය. දැන් වෙලාව 7 ය. තව පැයක් ඇත. අප මෙසේ වට පිටද උඩ බිමද බලමින් සිටින මුත් සැල්වදෝරු වරු යුහුසුළුව අහාර බෙදාගැනීමට පෝලිමට එක්වනු පෙනේ. බොහෝ දෙනෙක් මේ වන විටත් අහර අනුභව කරති.


වවුලගේ ගෙදර ගිය නම් එල්ලිලා ඉන්න එපැයි. මෙසේ කියමින් අපේ ඇත්තෝද ටික ටික ආහාර පෝලිමට එක්වන්නට වූහ.


මේ සියල්ල සිදු වන අතර සංගීත කණ්ඩායම ඉතාමත් උනන්දුවෙන් තම කාර්යය කරනු පෙනේ. ගීතවල තාලය බොහෝ හුරු පුරුදුය. අතරින් පතර ඔවුන් 'සිරි... ලංකා' සහ 'කූඹියා' කියා බෙරිහන් දෙති.


තම ආහාරය නිමවූ සැල්වදෝරු පිරිස් පවුල් පිටින් කෙමෙන් කෙමෙන් ශාලාව මැද වූ හිස් පෙදෙසට එකතු වෙති. ගැහැණු පිරිමි එකිනෙකා බදාගෙනය. අඩියක් ඉදිරියට සහ අඩියක් පසු පසට ලෙස සියලු දෙනා නැටුමක නිරත වෙති. ටික වෙලාවකින් අහාර ගන්නා කීප දෙනා හැරුන විට සියල්ලෝම නැටුමට එක්වී සිටිති.


ඒ අතරම බස් අජිත් ගේ සොහොයුරා සිරි ලංකා කීම ඇත හැරත් නැත. අපටත් සෙකන්ඩ් වීමට බැරිය. එහෙත් විලි ලැජ්ජාවක් නැතුව කෙසේ මේ රණ බිමට පිවිසෙමුද?


සිදුව ඇති අකරතැබ්බය ඉවෙන් මෙන් වටහාගත් අප මනමාලයා වහා ගොස් මත්පැන් පොල්ල ඉවත් කිරීමට කටයුතු යොදන ලදී.ගතවුයේ විනාඩි කීපයකි. සියලුම ලංකික පිරිමි බෝතල් මුල්ලේ එක රොක් වී සිටිති.


මෙතෙක් කල් නිහඬව වැදගත් ලීලාවෙන් සිටි සියලු දනා වවුලාගේ ගෙදර තම ගෙදර කරගැනීමට මාන බලති.


හරි එහෙනම් ඔන්න අපිත් යමු ඩාන්සින් ෆ්ලෝර් එකට. මුන් අපේ රටේ නම කියා කියා කතා කරනවනේ..


මෙසේ කියා අපේ ඇත්තෝද ගේමට එන්ටර් වූහ.අපිට ඕනෑ වේගෙන් නටන්නටය. බිම කැරකි කැරකි නටන්නටය. එත් ගයන ගීත වල රිද්මය මදිය. ඒ මදිවට සියලුම ගීත එකම රිද්මයේය. මේ රිද්මය සැල්වදෝරුවන්ට නම් කදිමය. ඔවුන්ගේ අඩියක් පෙරට අඩියක් පසු පසට නැටුමට හරියටම ගැලපෙනවාය.


මේ වන විට සැල්වදෝරු වරුන්ද හරි හරියට මත්පැන් වලට වග කියා ඇත. ගැහැණු පිරිමි කියා වෙනසක් නැත. සියල්ලෝ හොඳ හැටි සප්පායම් වෙති. වැඩියෙන් යන්නේ ටකිලා නමැති පානයයි. ඒ තක්කාලි යුෂ සමග මිශ්‍ර කරමිනි.


ටකිලා වනාහි දකුණු ඇමෙරිකානුවන්ට ස්පාඥඥයන් විසින් හඳුන්වා දුන් දේශීයව නිපදවෙන බීමකි. මක්සිකොවේ සහ අවට රටවල් වල බහුල පතොක් ශාකයෙන් නිපදවෙන්නකි.


අපට පොල් මල් කපා අරක්කු හුරු කලා සේ ඔවුන්ට පතොක් කපා ටකිලා හුරු කරවා ඇත.


නමුත් රට ගිය විට අපට අරක්කු නැත. ඉතින් අපේ ඇත්තෝ පුරුදු සුද්දන් ගේ විස්කි වලටය. සමහරු ගල් උඩ විස්කිය. සමහරු කොලා සමග විස්කිය. අනෙක් පසින් ගැහැණු පිරිමි සියල්ලෝම බිව්වත් අපේ පිරිමි ටික ඊටත් වැඩියෙන් බීමට රුසියෝ වෙති.


හොඳ හැටි පදම් වූ කළ අපට වගේ වගක් නැත. අපේ සමහරුන්ට දැන් නම් සංගීතය නැතත් නැටීමට හැකිය. කුඹියා සංගීතය සමහරෙක් උඩරට පහට රට නැටුම්ද නටනු පෙනේ. පාසල් කාලයේදී නිම් හිම සෙව්වා ගීතයට දඟර නැටුම් දැමු හැටි සිහි වෙයි. මේවා ඊටත් වැඩිය අජූතය.


මේ වන විට මංගල උත්සවය පටන්ගත් හැටියේ කණපිටය. එනම් මුලදී අප අසුන් ගෙන සල්වදොරුවන් ගේ නැටුම් දෙස 'අනේ අනිච්චන්' යනුවෙන් සිතමින් බල සිටියෙමු. දැන් ඔවුන් අප දෙස 'සන්ත මරියා' කියමින් බලා සිටිති.


අපේ සමහරුන්ව වත්තන් කරගෙන වැසිකිලියට රැගෙන යාමට සිදුව ඇත්තේ අහාර ගත් මාර්ගයෙන්ම හැරෙන තැපෑලෙන් ආපසු ඒවා පිට කිරීමටය.


සැල්වදොරයේත් නොවන ලංකාවෙත් නොවන තෙවන රටක මංගල උත්සවය පැවැත්වුන බැවින් කෙතෙක් අවශ්‍ය වුවද නියමිත වෙලාවට වඩා ශාලාවේ රැඳී සිටීමට අවකාශයක් නැත. අලුයම 1 ට ශාලාව ආපසු බර දිය යුතුය. 1 ට 5 ක් තබා සියලුම සංගීතයන් නවතා දමන ලදී.


සැල්වදොරුවන් එකිනෙකට ආචාර කර සිය පවුල් සමග ශාලාවෙන් පිටත්ව යති.


නිදාගත් දරුවන් කරපින්නා ගත් ලංකික බිරියන් කීප දෙනෙක්ද තම සැමියන් වත්තන් කරගෙන තමන් පැමිණි වාහන සොයනු පෙනේ.
Mexicans are fucked a nation... මට ඈතින් ඇසෙයි


Tuesday, February 14, 2012

මඟ මරු!



චාර්ලි මගේ යාලුවෙක්. ගෙවල් රත්නපුරේ. හැබැයි චාර්ලි වැඩ කරේ කොළඹ. හැම සතියෙම චාර්ලි රත්නපුරේ ඉඳල කොළඹ ඇවිල්ල සිකුරාදා හවසට ගෙදර යන්න පුරුදු වෙලා හිටිය.

හැමදාම බස් වල රස්තියාදු වෙන්න බැරි නිසා චාර්ලි ගත්ත කාර් එකක්. රතු පාට පුංචි බටු කාර් එකක්. දොරවල් දෙකක් තියන මේ කාර් එකේ නැගිලා චාර්ලි හැම සඳුදා ම කොළඹ ඇවිත් සිකුරාදාට ගෙදර යනවා.

වාහනේ පුංචි උනාට ගමන අස්ප වේගෙන්. රත්නපුරේට යන්න තියන පාරේ ත්‍රී වීලර්, අනිත් කාර්, වෑන් විතරක් නෙමෙයි ලොරි, බස් වලටත් ඉස්සර කරන්නේ ඇඟට කපාගෙන.

බස් එළවන කස්ටියත් යන්නේ චර්ලිට දෙවෙනි වෙන්න නෙමෙයි. එක රූට්‌ එකේ දුවන බස් වලට විතරක් නෙමෙයි හදිස්සියට ළමයෙක් හම්බු වෙන්න ඉස්පිරිතාලෙට යන ගැණු කෙනෙක් ඉන්න වාහනේකට උනත් බස් එකකට ඉස්සර කරනවා සුම්මා.

ඉතින් ඔන්න එක සිකුරාදා දවසක් දා හැන්දෑවක චාර්ලි ගෙදර යන්න පිටත් උනා. කලින්ම වැඩපොලෙන් පැනගත්තේ ඉක්මනට ගෙදර ගියොත් ගෙවල් ළඟ තියන තුම්මාසේ බණ ගෙදරට සෙට් වෙන්නත් එක්ක හිතාගෙන.
චර්ලිගේ වේගේ හැටියට චර්ලිට රත්නපුරේට ලං වෙන්න වැඩි වෙලාවක් ගියේ නැහැ. දැන් ගෙදරට හැතැක්ම 30 ක් විතර තියෙන්නේ. තඩියට තදියේ පාර පුරා ලේලන්ඩ් බස් රාජයෙක් යනවා මෙන්න. ඒක යන්නේ ඇඹිලිපිටි. දුර යන බස් එකක් නිසා පාගල යනවා. එත් අපේ චර්ලිට මේ බස් එක පස්සේ යන්න හිත හදාගන්න බැහැ.


බස් වගේද කාර්? මෙච්චර වාහන ඉස්සර කරපු මට මේ බස් කාරයත් කජ්ජක් ද කියල; චාර්ලි සිග්නල් ලයිට් එහෙම දාගෙන පොඩ්ඩක් පාර මැද්දට ගත්ත. විනාඩි 5 ක් විතර අල්ලාගෙන හිටිය. මොන.. බස් කාරය තුට්ටුවකටවත් ගණන් ගන්නේ නැහැ. වංගු වැඩියි, ඉස්සරහින් එන උනුත් කාගෙන එනවා. මොනවත් කරගන්න බැහැ. එත් දැන් නම් වැඩේ අතාරින්න කොහොමටවත් බැහැ. මොන නව නින්ගිරිවක්ද බස් එකක් පස්සේ යන එක.

මෙහෙම හිතපු චාර්ලි දත් කාගෙන බස් එකට ඉස්සර කරන්න හැදුව පොඩි ඉඩක් හම්බවෙච්ච ගමන්. මෙන්න බොලේ බස් එක ඒ පාර චර්ලිත් එක්ක ගේමට එනවා වගේ ලොකු දුම් ගුලියක් එහෙම පිට කරලා බ්‍ර්ම්ම්ම... බ්‍ර්ම්ම්ම්... ගාල තවත් වේගෙන් යන්න ගත්ත. චාර්ලි දැන් බස් එකේ මැදක් හරියට වෙනකන් ඇවිල්ල. තවත් පාගන්න ඕනේ වගේ. මගේ අම්මෝ, මෙන්න ඉස්සරහින් ලොරි බාගයක් එනවා! චාර්ලි උඩ පැනල බ්රේක් එක උඩ හිටගත්තා.

දැන් නම් වැඩේ හරියන්නේ නැහැ. බස් කාරයට ගේම දෙන්නම ඕනේ.ඉස්සරහට එන්න එන්න වංගුත් වැඩි වෙනවා. එහෙම කියල කොහොමද? මේ වෙනකොට බස් එකේ යන මිනිස්සුන්ටත් වැඩේ තේරිලා. ඒ මිනිස්සුත් බෙලි දික් කරගෙන බලාගෙන ඉන්නවා. දැන් නම් පරාජය බාරගන්න කොහොමටවත් බැහැ.

චර්ලිගේ කාර් එකයි ඇඹිලිපිටි බස් එකයි නිකන් හාල්මැස්සයි තල්මහයි වගේ ප්‍රමාණෙන්. කාර් එකට ගහපු පැට්‍රොල් වල පිහිටෙන් පණ එපා කියල චාර්ලිට කොහොම හරි බස් එකට ඉස්සර කරගන්න පුළුවන් උනා, හැබැයි තඩි වංගුවකට ඔන්න මෙන්න කියල තියෙද්දී. එත් එක්කම වෑන් එකක් ඉස්සරහින් එනවා.

චාර්ලි කෙලින්ම බස් එක ඉස්සර කරලා කැපුවා බස් එකට.හැබැයි ඒ නිකම් නෙමෙයි. "මැරෙන්න හදනවද යකෝ?" කියල බෙරිහන් දීල බස් එකේ ඩ්‍රයිවර් ගෙන් අහන හමන්.

Friday, February 3, 2012

මරීනා මරීනා


සියත FM එකේ සතියේ දවස් වල රෑ 10 ට මම කැමතිම ගී 10 කියල ප්‍රෝග්‍රෑම් එකක් යනවා. ටිකක් හරි ඇසූ පිරු තැන් ඇති කෙනෙක් ආව දවසකට, බොහොම චමත්කාරජනක පැයක් ගෙවාගන්න පුළුවන්. 

පහුගිය දවසක මේකට ආව තරුණ සංගීත අද්‍යක්ෂක වරයෙක්. වැඩ කාරයෝ ප්‍රසිද්ධ වෙන්නේ නැති නිසා මට මෙයාගේ නම නම් මතක නැහැ දැන්. මේ තරුණ සංගීත අද්‍යක්ෂක වරයා අංක එකට තෝරපු ගීතය ගැන කියපු දේ මට මතක හැටියට මෙන්න මෙහෙමයි:


"බයිලා කාරයෝ කිව්වහම අපිට හිතෙන්නේ බොහොම පහල මට්ටමක අධ්‍යාපනයක් තියන නිකම්මු කොටසක් කියල."

"දැන් කාලෙ බයිලා කාරයෝ එහෙම වෙන්න පුළුවන්. එත් මම මේ අංක 1 ට තොරන ගීතය ගායනා කරන M.S. ප්‍රනාන්දු ගායකයා බොහොම පොත පත පරිශීලණය කරපු, සමාජය වගේම සංගීතය ගැනත් බොහොම දේවල් දන උගත් කෙනෙක්. මේ ගීතය අහනකොට අපිට මැවෙනවා සම්පූර්ණ චිත්ත රූපයක්."

"ගීතය පටන් ගන්නකොට MS කියාගෙන යන හෑල්ල -දෙවන යුද්ද කාලෙ ලාංකික තරුණයෙක් මෙක්සිකෝවට ගිහින් එහෙ තරුණියක් සමග හාද වෙන හැටි,
යුද්දේ අවසානයේ තරුණය අපහු එන්න තනියම නැවට නැගල තමන්ගේ පෙම්වතියට සමු දෙන හැටි එහෙම වචනයෙන් වගේම සංගීතය පැත්තෙන් උනත් මේ ගීතයට යොදාගෙන තියෙන්නේ පුදුමාකාර විදිහට."


ඊට පස්සේ අපේ නිවේදකයා පොඩි ගිටාර් ඛණ්ඩයක් වාදනය කරලා පෙන්නනවා.

"මෙන්න මේ වගේ මෙක්සිකන් මියුසික් රිදම් එකක් තමයි මේ ගීතයේ බැක්ග්‍රවුන්ඩ් එකේ යන්නේ.."

මෙහෙම විස්තරෙකට පස්සේ වාදනය වෙන්නේ MS ගේ 'මරීනා මරීනා' කියන සින්දුව. අවාසනාවකට වගේ මියුරු ගී සහ සිංහල juke box එකේ විතරයි මට මේ සින්දුව හොයාගන්න පුළුවන් උනේ. එක නිසා මෙතනට ඒ සින්දුව ඔබාගන්න විදිහක් නැහැ.

සින්දුවට කිව්වට, ඇත්තටම බොහොමයක් මැක්සිකන් ගෑනු අය ඇහැට කනට පෙනෙන ඇත්තෝ. කළු කොන්ඩේ එක්ක අපේ ලංකාවේ කෙල්ලන්ගේ පෙනුම තියන නිසා ලංකාවේ කොල්ලන්ගේ හිත යන එක පුදුමයක් නෙමේ. හැබැයි මේ ලස්සන තියෙන්නේ බොහොම ටික කාලයයි. මෙක්සිකානු කෙල්ලෝ ගොඩක් අඩු වයසෙන් ළමයි හදන්න පටන් ගන්නවා. ළමයි හතර පහක් වත් පවුලක ඉන්න ඕනේ කියල පොඩි කාලේ ඉඳලම කවුරු හරි තෙලක් බෙදනවද දන්නේ නැහැ. ළමයි හම්බ උනාට පස්සේ මේ ගොල්ල තමන්ගේ ලස්සන ගැන වැඩිය මහන්සි වෙන්නේ නැහැ. හරියට අපේ අය වගේම තමයි.
 
මැක්සිකන් කාරයෝ සැරට කන්න රුසියෝ කියල ප්‍රසිද්දයි; අපිත් ඉතින් හොඳට මිරිසට කන කට්ටියනේ.  අපි වගේම තමයි ඒ කියන්නේ... මේ ගොල්ල ගාව නානාප්‍රකාර මිරිස් ජාති තියනවා. මාළු මිරිස් වල සයිස් එකේ ඒවා වගේම නයි මිරිස් වගේ ඒවත්. බුරන බල්ලා හපා නොකයි වගේ ලොකු මිරිස් වැඩිය සැර නැහැ. jalapeno (හැලපිනියෝ; ඔව් 'ජල පෙනෝ' නෙමෙයි; අපේ දෙමළ සොයුරන් 'බයන්න' වෙනුවට 'පයන්න' කියනවා වගේ මැක්සිකන් කස්ටියත් 'ජයන්න' වෙනුවට කියන්නේ 'හයන්න' ලු).  කියන මිරිස් තමයි එදිනෙදා පාවිච්චි කරන්නේ. හරියට අපිට අමු මිරිස් වගේ.

බීම අතින් උනත් මෙයාල අපිට දෙවෙනි වෙන්නේ නැහැ. අපේ ජාතික පානය අරක්කු වගේ මේගොල්ලන්ගේ ටකීලා කියල බීමක්. ඒක හදනවා කියන්නේ පතොක් ගස් වලින් ලු. හැබැයි මේක බොන විදිහේ පොඩි වෙනසක් තියනවා. අපි නම් අරක්කු ටික කටට හලන්නේ සෝඩා හරි මොනවා හරි පැණි රස එකක් එක්ක කලවම් කරලනේ. මෙයාල වැඩිය කැමති තක්කාලි යුෂ එක්ක මික්ස් කරගන්න. එකට මිරිස් සෝස් ටිකකුත් දානවා තියනවා නම්!

ඊගාවට මියුසික්. අපේ තියන 4-4, 6-8 බීට්ස්ම තමයි මේ ගොල්ලත් ගහන්නේ. ඒ ගැන නම් ඊට වැඩිය කියන්න දැනුමක් මට නැහැ. 

තවත් බොහොමයක් දේවල් වලින් මේ මැක්සිකන් අය අපිට සමානයි. එත් මේ දේවල් දැනගන්න එකදාස් නවසිය බර ගණන් වලදී MS කියන සින්දුව ලියපු කවුරු හරි වගේම මියුසික් දාපු එක්කෙනත් හොඳට දැනගෙන ඉඳල තියනවා. සතියකට දෙකකට වත් මේ අය මෙක්සිකෝවට ගොඩ බැහැල වත් ද?

දැන් පේනවනේ; ඒ කාලෙ හිටිය බයිලා කාරයොත් සැහෙන්න බහුශ්‍රුතයෝ...