Wednesday, May 6, 2015

මං තීරු - Traffic Lanes



මැද්දේ ලේන් එක හැමදාම උදේට ට්‍රැෆික්. ඒක නගරෙට යන හයිවේ එකට එකතුවෙන නිසා උදේට නගරෙ වැඩට යන හැමෝම වගේ ඉන්නේ මේ මැද ලේන් එකේ. 

වමේ ලේන් එකේ තත්වෙ මැද්දේ එකට වැඩිය ටිකාක් විතර හොඳයි. ඒකත් හයිවේ එකකට තමයි එකතු වෙන්නෙ, හැබැයි නගරෙන් පිටට යන හයිවේ එකට. හැමදාම උදේට නගරෙන් පිට වැඩ වලට යන්නත් සෑහෙන සෙනඟක් ඉන්නවා.

දකුණේ ලේන් එකේ තත්වේ අනිත් දෙකටම වැඩිය සෑහෙන්න හොඳයි. ඒක ගිහින් එකතුවෙන්නේ මේ ලඟම තියන පොඩි ටවුමකට යන පාරකට. ඒ පාරට යන්න වැඩිය සෙනඟක් හිටින්නේ නැහැ කොහොමත්. හැබැයි නගරෙට යන හදිස්සි කාරයෝ කරන්නේ මේ දකුණේම ලෙන් එකේ පුළුවන් තරම් දුර ගිහින් මැද්දේ ලෙන් එකට වාහනේ ඔබාගන්න එක.

මම ඇවිල්ලා ඔය හදිස්සිකාරයන්ගෙනුත් හදිස්සිකාරයෙක්. කොහොමත් ගෙදරින් පරක්කු වෙලා එන මට ඉක්මණට වැඩපොළට ගියා කියල කරන්න මහා ලොකු දේකුත් නැහැ. මොකෝ රතු ඉර ගහනව කියලද? එත් කාටද පුළුවන් බඩ ගගා කොට කොටා යන්න? එහෙම යන්න ඕනේ නම් ලංකාවට වෙලා අපූරුවට ඉන්න තිබ්බනෙ. මෙහෙ ආවනම් ඒ විදිහට ගමනත් තියෙන්න ඕනේ.

එත් ඉතිං හැමදාමත් මොකෙක් හරි හාල්පාරුවෙක් බඩ ගගා යන්න සෙට් වෙනවා. ලේන් එක ඉස්සරහ ඕනේ තරම් ඉඩ තිබ්බත් 193 බස් එක ටවුන්හෝල් යනවා වගේ පැද්දි පැද්දි යනවා. සමහරක් වෙලාවට මේ වගේ යන්නේ බොහොම වයසක ඇත්තෝ. එතකොට නම් මට බොහොම ඉවසීමෙන් ඒගොල්ලන්ගේ පස්සෙන් හෙමීට යන්න පුළුවන්. මොකද ජේෂ්ඨ පුරවැසියන්ට අපි සලකන්න එපැයි කියල හිතලා.

ගොඩක් වෙලාවට ඔහොම යන්නේ කළු ගෑණු පරාණ තමා. උන්ට වාහනේට නැගගත්තහම ලෝකෙ පෙරළුනත් වගේ වගක් නෑ.

මගේ ඇඟේ ලේ නටන්නේ ස්පෝර්ට් කාර් එකක් බඩගානවා දැක්කහම තමයි. ඉස්පෝර්ට් ගත්ත නම් ඉස්පෝර්ටි විදිහට යන්න ඕනේ. එහෙම නැත්නම් මේ මම වගේ පරණ ලඩියක් ගන්න ඕනේ. සල්ලි තියන පළියට ලොකුවට ඉස්පෝර්ට් අරගෙන, අනේ අම්මපා...

මේ වගේ එක්කෙනෙක් හම්බ උනොත් කරන්න දෙයක් ඉතුරුවෙන්නෙම නෑ, මොකද ලඟින්ම තියන මැද්දේ ලේන් එක හෙලවෙන්නේ වත් නැති නිසා. ඉස්සරහින් යන පින්වතාට බොහොම කරුණාබර වදන් වලින් හිතින් ආමන්ත්‍රණය කර කර පස්සෙන් යන්න තමයි තියෙන්නේ.

ඕක තමයි මගේ උදේ හවහ ගමනාගමනය. මගේ ගමන් චරියාව - ඒ කියන්නේ දකුණේ ලේන් එකේ වේගෙන් ගිහින් අන්තිම මොහොතේ මැද්දේ ලේන් එකට පැනිල්ලෙන් - මම හිතන්නේ අඩුම ගානේ විනාඩි 15ක් වත් එක ගමනකින් ඉතුරු වෙනවා.

අද නම් වැඩිය හොඳ දවසක් නෙමෙයි වගේ. එහෙන් මෙහෙන් වාහන බ්ලොක් වෙලා මට දකුණේම ලේන් එකට පැනගන්න බැරි උනා. දැන් ඉතින් වෙන කුමක් කරන්නද... කියල මම වමේ ලේන් එකට සෙට් උනා. මට තියන හදිස්සියට කීප පාරක් ම ලේන් මාරු කරන්න හැදුවත් වාහන වැඩි නිසා එහෙම කරලා තේරුමක් නෑ කියල මගේ ටිකිරි මොළේට තේරුනහම, ඔන්න ඕනේ කියල යන විදිහට යන්න පටන්ගත්ත.

වෙන කරන්න දේකුත් නැති නිසා වටපිට බල බල ඉන්නකොට තමයි දැක්කේ දැකල පුරුදු වාහනයක් මැද්දේ ලේන් එකේ මට වාහන දෙක තුනකට ඉස්සරහින් තියනවා. මේක කලින් කිව්ව ජාතියේ ඉස්පෝර්ට් එකක්. මම ඉන්න ලේන් එක මැද එකට වැඩිය ටිකාක් විතර වේගෙන් යන නිසා ටික වෙලාවකින් මට ඒ වාහනේ ලඟට එන්න පුළුවන් උනා.

මම හිතුව හරි. මේ ඉන්නේ මගේ හොඳ යාළුවෙක්. මිනිහා බොහෝම සාවධානව කෙලින් බලාගෙන ඉන්නවා. 

මම ගැහුවා හෝන් එක, එක පාරක්. කෝ මුගේ කන් බීරි වෙලාද?

වැඩිය හෝන් ගහන්න විදිහක් නෑ, මගේ ඉස්සරහ ඉන්න මනුස්සයා බය වෙන්න ඉඩ තියන නිසා. එක හින්ද මම මිනිහ දිහා දිගටම බලන් හිටියේ වැරදිලාවත් වට පිට බලයිද කියල.

ටිකකින් මනුස්සය ඉලෙක්ට්‍රොනික් සිගරට් එකක් අරගෙන දුමක් ඇදල ආයෙත් ඉස්සරහ බලාගෙන ඉන්නවා, ඇඟිලි වලින් හෙමීට සුක්කානමට තට්ටුවකුත් දාන ගමන්. සින්දුවක් අහනවද කොහෙද. අනිවාර්යෙන් මිනිහා කැමතිම - වැඩි සීනි, කිරි දාපු තේ එකකුත් ඇති එහා පැත්තේ. කිසිම කලබලයක් නැතුව මේ මහා ට්‍රැෆික් එක ගැන වගේ වගක් නැතුව සුපිරි විදිහට යන හැටි.

වැඩිය වටින්නේ පාරේ ඉන්න බහුතරයක් මිනිස්සුන්ට හිතින් බැන බැන, මගේ හද ගැස්මයි රුධිර පීඩනයයි වැඩි කරගෙන මම ඉතුරු කරගන්න විනාඩි 15 ද නැත්නම් මගේ මිත්‍රයා බොහොම විවේක සුවයෙන් සැහැල්ලුවෙන් වාහන පෝලිමේ වෙලාව ගතකරන එකද කියල මගෙන්ම මම අහගත්තා.

(පින්තුරය - http://www.clipartguide.com)

7 comments:

  1. හරි ලේන් එක හොයා ගන්න අමාරුයි හැම තැනකදිම

    ReplyDelete
    Replies
    1. ඔව්, ජීවිතෙත් හරියට මහපාර වගේ. හරි ලේන් එක හොයාගන්න ලේසි නැහැ.

      Delete
  2. මමත් ළමයි ඉස්කෝලේ දාල අපහු වැඩට එනකොට 2 ලේන් හයිවේ එකේ ඔහොම පැන්න. දැන් වැඩේ අත ඇරලා සින්දුවක් අහගෙන ජොලියේ එනවා. සමහර වෙලාවට ඕඩියෝ කටහ්වකුත් අහනවා. කවුරු පැන්නත් ගනන් ගන්නෙවත් නැහැ.

    ReplyDelete
    Replies
    1. ඔබ මෙහි පැමිණීම සුවිසල් දිරියකි!

      Delete
  3. Replies
    1. බොහෝම ස්තුතියි අජිත්!

      Delete