Sunday, April 8, 2012

රොටි කෑම


මේ දවස් වල ගොඩක් අය කැම්පස් කැන්ටිමේ කෑම ගැනනේ කතා කරන්නේ. ඉතින් මටත් හිතුන කැන්ටිමක නොඋනත් කැම්පස් එකක, මීට අවුරුදු බර ගානකට කලින් කාපු හැටි ගැන අහපු කතාවක් ලියන්න.

කතාව මට ඇහුන හැටියට, මතක විදිහට තමයි මේ:

අපි කැම්පස් ගිය මුල දවස් වල හැම දාම රැග් එක වරදින්නේ නෑ. උදේ ලෙක්චර් එකට යනකාන් ලොකු එවුන්ගේ කරදරේ. යන්තන් හුස්ම ටිකක් ගන්න පුළුවන් වෙන්නේ ලෙක්චර් එක වෙලාවේ තමා. හවසට හෝල් එකට ගියහම එතන තවත් සෙට් එකක් අපිව අල්ලාගෙන රෑ වෙනකන් එක එක ජවුසන් නටනවා. ඒ උනාට ඉතින් මේ වැඩේ හරි ආතල් අපිටත්.

ඔන්න ඉතින් එක දවසක් මම දවල්ට කැන්ටිමෙන් කාල, පත්තර කොලෙන් අත පිහදදා එනකොට එකෙක් පත්තරේ බලනවා. මමත් එතනින් යන ගමන් මුගේ කර උඩින් ඔලුව දාල පොඩ්ඩක් බැලුව. 

මේකා මගේ දිහා රවල බලල කියනවා "තෝ හවසට අහවල් හෝල් එකේ අහවල් රූම් එකට වර" කියල. 

මට තේරුණා වැඩේ ගස් තමයි කියල. එත් ඉතින් බැහැ කියන්න විදිහක් නැහැනේ. 

"එහෙමයි ජේෂ්ට උත්තමය" කියල එතනින් මාරු උනා.

හවස ලෙක්චර් එහෙම ඉවර වෙලා මම හොස්ටල් එකට ගිහින් නාල කරන එහෙම පිටත් උනා අර ජේෂ්ට උත්තමයාගේ රූම් එකට යන්න. 

හොයාගෙන ගිහිල්ල දොරට ටට්ටු කරහම "ඇතුලට වර" කියල අණක් ආව. මම ඇතුලට ගියාට පස්සේ මට ඉතින් හරි බැනුම්. 

"තෝ දන්නේ නැද්ද ජේෂ්ට උත්තමයෙක්ගේ පත්තරේට එබෙන එක වැරදි වැඩක් කියල? තොපි වගේ කිසිම හැදියාවක් විනයක් නැති එවුන් ඇවිල්ල තමයි නිදහස් අධ්‍යාපනේ විනාස කරන්නේ" 

මේ වගේ හෙන තෙලක්. මමත් ඉතින් කිව්වා, 

"අනේ අය්යේ මැච් එකේ ඉස්කොර් එක බැලුවේ" කියල..

"ඉසොකොර් එක? රිංගපිය ඇඳ යටට" කියල මේකා කියපි. 

මමත් ඉතින් රිංගුවා. අඳ යට මකුළු දැල් බැඳලා, දූවිලි විමානේ.

ඊට පස්සේ මේකා පොල්ලක් අරගෙන ඇඳේ මෙට්ටේට තඩිබාන්න ගත්තා. මමත් හොඳට නාල කරලනේ හිටියේ. අර මෙට්ටේ තිබ්බ දූවිලි, කොහු බත් කෑලි වැස්සක් වහිනවා වගේ වැටිලා මගේ ඇඟේ තට්ටුවක් වගේ බැඳිලා දැන්.

ඊට පස්සේ මේකා ආයෙත් පුටුවේ වාඩි වෙලා පාඩම් කරන්න ගත්තා. පැය බාගෙකට විතර පස්සේ කවුදෝ දොරට තට්ටු කරනවා. බලනකොට මුගේ යාලුවෙක්. දෙන්නගේ කතාව කොහේදෝ යන්නයි. අනේ අරුට මාව අමතක වෙලා. බයටම මම හෙමින් සීරුවේ ඇඳ යටින් ඔලුව එලියට දැම්ම. 

අලුතෙන් අපු එකා, "මේ මොකාද බොලේ මේ" කියල අහනකොට තමයි අනිත් එකාට මාව මතක් උනේ. දැන් මුන් දෙන්නට මාව තියාගෙන ඉන්නත් බැහැ. උන් කොහේදෝ යන්න හදන්නේ. ඒ පාර එකෙක් කිව්වා "තෝ ෂර්ට් එක අනිත් පැත්තට ඇඳගනින්" කියල. 

මමත් බොහොම අමාරුවෙන් අත් දෙක විතරක් දාගත්ත. බොත්තම් දාන්න විදිහක් නැහැනේ. ඊට පස්සේ මු කියපි "දැන් මේ හෝල් එකේ තියන හැම කාම්බරෙටම ගිහින් තට්ටු කරලා එකේ ඉන්න ජේෂ්ට උත්තමයන්ට ආචාර කරගෙන පල..." කියල.

මොනවා කරන්නද ඉතින්. මමත් හැම රූම් එකටම තට්ටු කර කර යනවා. සමහර එවුන්ට වැඩිය ගානක් නැහැ. සමහර එවුන් මාව ඇතුලට අරගෙන ටිකක් වෙලා අල කර කර ඉඳල අපහු යවනවා.

මෙහෙම යනකොට එක රූම් එකක හිටිය තුන් දෙනෙක්. එකෙක් පොතක් බලනවා. තව එකෙක් තේ හදනවා. අනිත් එකා රොටි හදනවා. කොහොමද දන්නවද රොටි හදන්නේ? 

හොස්ටල් එකේ ලිපවල් තියාගන්න තහනම්. මේකා ලක්ස්ප්රේ ටින් පියනක රොටිය තුනී කරලා අනිත් පැත්ත හරවපු ඉස්තිරික්කෙක උඩින් ටින් පියන තියනවා. මේ විදිහට හදපු රොටි දෙකතුනකුත් පැත්තක තියනවා.

මේක දැක්ක ගමන් මට බකස් ගාල හිනා ගියා. 

මට හිනා ගියහම අරුට හොඳටම තද උනා. ඌ මට බනින්න ගත්තා.

"මොකද යකෝ උඹ හිනා වෙන්නේ? අපි නැති බැරි කමට මෙතන රොටියක් හදාගන්න එක තොට විහිළු නේද?" 

මමත් ඉතින් හරිම අමාරුවෙන් බත් අඩුව කැන්ටිමෙන් කාල ඉන්න එකා නේ. ඉතින් මම කිව්වා 

"අනේ අය්යේ එකට නෙමෙයි හිනා ගියේ... මේ රොටි හදන විදිහටයි..." 

එතකොට මූ මට කියනවා 

"එහෙම තමයි යකෝ තාක්ෂනේ පාවිච්චි කරන්නේ... දැනගනින් අපිට ස්ටීම් අයන් එකක් තිබ්බ නම් ඉඳි ආප්පත් තම්බනවා!"

අපරාදේ කියන්න බැහැ,  අන්තිමේ මම එලියට බහිනකොට හොඳට බඩ පිරිලා, රොටි කාල. කොයි තරම් අමාරුවෙන් ජීවත් උනත් උන් ගාව මනුස්සකම තිබ්බ තියන දේ පුළු පුළුවන් විදිහට බෙදා හදාගෙන කන්න.

ජයාරූප උපුටාගැනීම:http://cliparts101.com

4 comments:

  1. නියමයි අපේ පැත්තටත් ඇවිල්ලා යන්න

    ReplyDelete
    Replies
    1. රොටි හදන තාක්ෂනේ නම් මරු ආ....

      Delete
  2. කොළඹ හෝටල්වල නතර වෙන ඉන්දියන් කාරයෝ ඔය විදියට රොටී රත්කරනවා කියලා කම්ප්ලෙන්ස් ලු ටුවර් ඔපරේටර්ස්ලාට!

    ReplyDelete
  3. අයන් එකෙන් රොටී හදන එක, තේ හදනන් වතුර රත්කරන්න තියෙන කේතලෙන් බිත්තර තම්බන එක දැණ් හරි ජනප්‍රියයිලු හෝටල් වල නවතින සංචාරකයෝ අතරෙත් :-D

    ReplyDelete