Sunday, March 25, 2012

ඉස්පිරිතාල දෙකක් - ලොක්කන් දෙන්නෙක්

හැමදාමත් වැඩ ඉවර වෙනකොට රෑ 8 විතර වෙනවා. එක අතකින් මේ වැඩේ හොඳයි. මොකද මේ වෙලාව වෙනකොට බස් වල වැඩිය සෙනග නැහැ. පාරවල් වලත් ට්‍රැෆික් අඩුයි. ඉක්මනට ගෙදර යන්න පුළුවන්. මේ වෙලාවට නුවර කොළඹ දුවන AC බස් එකක් දවසේ ට්‍රිප් එක ඉවර වෙලා අපහු ගෙදර යනවා. මම හැමදාම මේ බස් එකේ යන්න පුරුදු වෙලා හිටියේ.

වෙනද වගේ අදත් බස් එකට ගොඩ උනේ සැනසිල්ලේ වාඩි වෙලා ඇස් දෙක පියාගන්න ගෙදරට යනකන්.

ටෙක්නිකල් හන්දියෙන් බස් එකට ගොඩ වෙච්ච මනුස්සයෙක් මගේ ගාව හරි බැරි ගැහිලා වැඩි උනා.

ටිකට් එකට සල්ලි ගෙවල එහෙම ඉවර උන මෙයා මගේ දිහාට හැරිලා "මල්ලි මේ වෙලාවට වැඩිය කරදරයක් නැතුව යන්න පුළුවන් නේද?" කියල මගෙන් ඇහුව.

මොකාටද මේ එන්න හදන්නේ කියල මමත් ටිකක් විමසිල්ලෙන් බලන ගමන් ඔව් කියල කෙටි පිළිතුරක් දුන්න.

මගේ අසල්වැසිය පසු බසින පාටක් නැහැ.

මල්ලි කොහෙද වැඩ කරන්නේ?

මම ඒ ප්‍රශ්නෙටත් ආරක්ෂා කාරී පහරක් එල්ල කරා.

"මම වැඩ කරන්නේ ජයවර්ධනපුර හොස්පිටල් එකේ". අනාරධිතවම ඔහු කිව්වා.

"මම ටෙක්නිෂියන් කෙනෙක්..., උදේ ඉඳල හරියට වැඩ". මේ විදිහට ඔහු කියාගෙන යනවා. මමත් හූමිටි තිය තිය අහගෙන ඉන්නවා.

"මල්ලි දන්නවද ජයවර්ධනපුර හොස්පිටල් එක හැදුවේ කොහොමද කියල?"

මම නැහැ කියල ඔලුවෙන් කිව්වා.

"මේ ඉස්පිරිතාලේ ජපානෙන් ලංකාවට හම්බ වෙච්ච තෑග්ගක්."

"ඔය දෙවෙනි ලෝක යුද්දෙට පස්සේ අනිත් රටවල් ජපන්නුන්ව අයින් කරලා දාල තිබ්බේ. ඒ වෙලාවේ UN එකේ රැස්වීමකදී ඒකට ලංකාවෙන් ගිහින් හිටිය ජේ.ආර්. තමන්ගේ කතාවේදී ජපානෙට එහෙම කරන්න එපා කියල ප්‍රසිද්ද කතාවක් කරා..."

"මේ නවසිය හතලිස් ගණන් වල."

"කොහොමින් හරි මේ කතාවෙන් පස්සේ ජපානෙට පිළිගැනීමක් ඇවිල්ල ආපහු UN එකට ඇතුල් කරගත්ත."

"පස්සේ ජේ.ආර්. 78 දී ජනාදිපති උනාට පස්සේ ඉස් ඉස්සෙල්ලම සුබ පතන්න කතා කරේ ජපානේ අධිරාජයා. ඒ වෙලාවේ ජේ.ආර්. ට ජපානෙට එන්න කියල ආරාධනාවකුත් කරාලු."

"හා හා පුර කියල ජනාධිපති විදිහට ලැබිච්ච ආරාධනාව නිසා ජේ.ආර්. ජපානෙට ගියාලු. ඒ වෙලාවේ ජපානේ මිනිස්සු ජේ.ආර්. යන පාර දිගේ ලංකාවේ කොඩි අරගෙන රැස් කකා ඉඳල තියෙන්නේ. හැබැයි ඒ ආණ්ඩුවෙන් බල කරපු හින්ද නෙමෙයි. තමන්ගේ රටට අවුරුදු 30 කට කලින් කරපු දේට කාලගුණ සලකන්න බොක්කෙන්මයි."

"මේ ටුවර් එකේ වීඩියෝ කැසට් එකක් ඉස්පිරිතාලේ තියනවා. මම ඒක බලල තියනවා. ඒක හින්ද තමයි මම මේ කතාව දන්නේ."

මේ ගමනේදී ජපානේ අධිරාජයා ඇහුවලු ජේ.ආර්. ගෙන්,  "මගේ රටට කරපු දේට අපි සදා ණය ගැතියි. උඹට මොනවද ඕනේ?" කියල.

ජේ.ආර්. ගත් කටටම කියල තියෙන්නේ "මට මොකුත් එපා, පුළුවන් නම් මගේ රටට දියුණු ඉස්පිරිතලයක් හදල දීපල්ලා" කියල.

මගේ කතා කාරයා බොහොම හැගීම් බරව කිව්වා...

මේ කතාවට බොහොම සමාන කතාවක් මගේ සගයෙක් මට කියල තියනවා.

සගයාගේ මලයට මාරාන්තික මොලේ ගෙඩියක් හැදිලා තියනවා. මේ 2004 දී. ජීවත් වෙන්න තියන චාන්ස් එක 9%ක් කිව්වලු. මම දන්නේ නැහැ හරියටම කොහොමද මේ 9 හදාගත්තේ කියල. කොහොම හරි ඒ කාලේ වෙනකොට ලංකාවේ ස්නායු ශල්‍ය වෛද්‍ය අංශයෙන් ඉහලම තැනක හිටපු සුනිල් පෙරේරා කියන දොස්තර මහත්තය වැඩේ බර අරගෙන කරලා තියනවා. මගේ සගයාගේ මල්ලි තවමත් හොඳින් ඉන්නවා.

ලඟදි දවසක මම දන්නා කෙනෙකුටත් මොලයේ ගෙඩියකට ප්‍රතිකාර කරන්න ඕනේ උනා. මට එක පාරට මතක් උනේ සුනිල් පෙරේරා දොස්තර මහත්තයව. එත් විස්තර හොයල බලනකොට ආරංචි උනේ බොහොම කණගාටුදායක සිද්දියක්.

යුරෝපයේ බොහොම පොහොසත් කෙනෙකුට මොලයේ සැත්කමක් කරවගන්නට ඕනේ වෙලා රටවල් ගණනාවක වෛද්‍ය වරු හමුවෙලා තියනවා. නමුත් සියලු දෙනාම ලෙඩාව බාරගන්න බෑ කියල ප්‍රතික්ෂේප කරලා තියනවා, ලෙඩේ ඒ තරම්ම නරක නිසා.

පස්සේ මේ ලෙඩා අපේ සුනිල් පෙරේරා මහත්තය ගැන දැනගෙන එයා ලවා සැත්කම කරවාගෙන සනීප වෙලා තියනවා.

මේ කරපු උපකාරයට සල්ලි කාර ලෙඩා අපේ දොස්තර මහත්තයගෙන් අහල තියෙන්නේ ජපන් අධිරාජයා ජේ.ආර්. ගෙන් ඇහුව ප්‍රශ්නයමයි. උත්තරය වෙලා තියෙන්නෙත් ජේ.ආර්. දුන්න උත්තරෙමයි. ස්නායු රෝග වලට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය දියුණු රෝහලක්.

යුරෝපියයත් බොහොම සතුටෙන් ඉදිරිපත් වෙලා අවශ්‍ය අවසරය ගන්න ලංකා ආණ්ඩුවෙන් ඉල්ලුම් කරලා තියනවා.

නමුත් අපේ කාලකන්නි කමට ඒ දවස් වල හිටිය අංශ බාර ඇමති තුමා, රෝහලට යන වියදමෙන් 10% ක කොමිස් මුදලක් ඉල්ලා සිටියාලු.

මේකට විරුද්ධ වුන සුනිල් පෙරේරා මහතාගේ නිවාඩු අවලංගු කර කර, තව ඒක ඒක බාල්දි පෙරල පෙරල ගොඩක් අංචි ඇදල තියනවා. කට්ටියගේ හෙළුව දැකල එපා වෙච්ච සුනිල් පෙරේරා මහත්තය ලංකාව එපා කියල රට ගිහින්. ඉස්පිරිතාලේ හදන වැඩෙත් උපන් ගෙයිම ලොප්.

අයෙත් ජේ.ආර්. ට...

ජේ.ආර්. කියන්නේ සුදු චරිතයක් නෙමෙයි. තමන්ගේ පාලන කාලේදී ජනතාවගේ වෛරයට පත්‍ර වෙච්ච පාලකයෙක්.

පොඩි කාලේ අම්මලත් එක්ක කෝච්චියේ ගමේ යනකොට කොච්චි පාර අයිනේ තියන තාප්ප වල 'JR මරමු' කියල කලු තෙල් වලින් ලියල තිබ්බ වාක්‍ය මට තවමත් මතකයි. ඒ වගේම සෝවියට් දේශය කියන සඟරාවේ පවා 'අති ගරු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන උතුමාණන් සමග සෝවියට් දේශයේ ජනාධිපති මිහයිල් ගොර්බචොක් මහතා' කියල පල වෙලා තියනවා මට හොඳටම මතකයි.

එත් මේ ලෝකේ සම්පූර්ණ හොඳ මිනිසුන් වත් සම්පූර්ණම නරක මිනිසුන්වත් නැහැ. හැම දෙනාම හොඳ සහ නරක මිශ්‍රණයක්. ඒ ඒ චරිත දිහා බලල ගන්න පුළුවන් දෙයක් ගැනීම අපේ යුතුකම.

1952 දී DS  අස්සයා පිටින් වැටිලා මියැදෙනකොට DS  ගේ ආණ්ඩුවේ හිටිය ප්‍රභලම සහ හැකියාවන් අතින් ඉදිරියෙන්ම සිටි නායකයා වුයේ මුදල් ඇමති ජේ.ආර්. එත් ඊළඟ නායක කම ලැබුනේ ජේ.ආර්. ට නෙමෙයි, DS ගේ පුතා ඩඩ්ලි ට. එක එක යටි කුට්ටු වැඩ කරත්, ජේ.ආර්. තමන්ගේ වෙලාව එනකන් ඉවසන් හිටිය. අවුරුදු 30 ක්ම හිටිය.

මේවා කෙටි පාරෙන් නායක කම් හොයන, පාර්ලිමේන්තුවේ දී ඇඹිලිපිටියේ පුංචි හාමිගේ වත්තේ මිරිස් පැල ටික අයාලේ යන හරකුන් උලා කැම වෙනුවෙන් මොනවද කරේ කියා අසන නවකයින්ට ගන්නවා නම් හොඳ ආදර්ශ.

ජේ.ආර්. ගැන තවත් මම කැමති දෙයක් කියලම මේක ඉවර කරන්නම්. ඒ තමයි ජේ.ආර්. ගේ  හාමිනේ එලීනා ජයවර්ධන මැතිණිය. කට පුරාම 'මැතිණිය' කියල කියන්න පුළුවන් මැතිණියක්. කොයි තරම් රජෙක් උනත් අන්තිමේ රට පාලනේ කරන්නේ ගෙදර එක්කෙනා වීම එදා වගේම අදත් දකින්නට තියන දෙයක්. එත් ජේ.ආර්. ගේ ගෙදර එක්කෙනා නම් තමන් නොදන්නා මගුල් වලට අත ගහන්න ගියේ නැහැ. කරන්න ඕනේ දේවල් ටික විතරක් කරගෙන නිවී සැනසිල්ලේ හිටිය චරිතයක් හැටියට බොහොම ප්‍රසිද්දයි.

ඔන්න දැන් කාලේ ඉන්න මැතිණියන්ට ගන්නවානම් ආදර්ශ!


ප. ලි. : අනිත් ලොක්කා ගැන නම් ලියන්නට දෙයක් නැත.

Sunday, March 18, 2012

කැන්ටිමක සිටි මිනිසුන් - La Gente En Cantina


දයල් බතී ලියා තිබු විවෘත ආපන ශාලාව ගැන කැම්පස් කතාව කියවීමෙන් පසුව මේ සටහන කිරීමට සිත් විය.

ඉස්කෝලේ යන කාලේ කැන්ටින් දෙකකිනුත්, ඊට පස්සේ මොරටුවේ වලෙන්, ගොඩෙන් මෙන්ම ගුලෙනුත්, ජපුරේ කැන්ටින් එකකිනුත්, පේරාදෙණියේ අක්බාර් ශාලාවේ කැන්ටිමෙන් මෙන්ම චමත්කාර වටපිටාවකින් යුතු වුස් (WUS) කැන්ටිම මෙන්ම කොළඹ ආර්ට් ෆැකල්ටි කැන්ටිමෙන් සහ මෙඩිකල් ෆැකල්ටි කැන්ටිමෙන්ද සැහෙන වාර ගණනක් ගොස් කා ඇතත් මගේ කැම්පස් ජීවිතයෙන් 40% පමණ කාලයක් ගතවුයේ විවෘත ආපන ශාලාව හෙවත් ඕපන් කැන්ටිමේය. 

දයාල් බතී ට මෙන් ජැකා ලා තරම් ප්‍රසිද්ද පුද්ගලයින් නැතත් මටද අපූරු මිනිසුන් මේ කැන්ටිමේදී මුණ ගැසී තිබේ.

මුල දවස් වල මම කැම්පස් එකට එන්නේ ආර්ට් ෆැකල්ටිය පැත්තෙන් තියන ගේට්ටුවෙන්. ඒ දවස් වල ICT එකට අලුතෙන් කෑල්ලක් හදනවා. එකේ වැඩ කරන මේසන් බාස්ලව පේනවා.
උදේ පාන්දරම යන්නේ open එකට. කට්ටියත් එක්ක කයියක් ගහගෙන මොනවා හරි කොටාබාන ගමන් කවුදෝ වයසක මනුස්සයෙක් කැන්ටිමේ පෝලිමේ.

කලිසමේ එක කකුලක් අඩියක් එකහමාරක් විතර උඩට නමාගෙන, අනිත් කකුල හරියට දිගට තියනවා.


කකුල් දෙකේ සෙරෙප්පු දෙකක්. ෂර්ට් එකේ එක පැත්තක් යට කරලා අනිත් පැත්ත උඩින් වැටිලා. මුහුණ පුරා රැවුල වැවිල. අතේ පොඩි වෙච්ච සිලි මල්ලක මොනවදෝ තියනවා. 

කවුන්ටරේට සල්ලි දුන්නහම කැෂියර් කොලුවා දෙනවා පොඩි සිලි උර දෙකක්. එකක එළවලු රොටියක්, අනිකේ ප්ලේන් ටී එකක්.

"අලුතෙන් හදන බිල්ඩිමේ වැඩ කරන මනුස්සයෙක් වෙන්න ඇති..."

මට එහෙම හිතුන විතරක් නෙමෙයි කියවුණා.

"පිස්සුද යකෝ; ඒ අපේ අබේසිංහ සර් නේ!"

මගේ සගයෙක් කියනවා...
 
ශුද්ධ ගණිතය උගන්වන ගණිත අංශයේ ජේෂ්ඨතම ආචාර්යවරයෙක් මේ. ආචාර්ය මහාචාර්ය පට්ටම් නැති නිකම්ම නිකම් අබේසිංහ උනාට ගණිතය ඉගෙනගත්තු හැමෝම එතුමාට ගරු කරේ හරියට වැඩේ කරන ගුරු දෙවියෙක් නිසයි. කැන්ටිමට වෙන කිසිම ආචාර්යවරු එනවා මම දැකල නැහැ, අබේසිංහ සර් ඇරෙන්න. හැමදාම අබේසිංහ සර් අවේ ගියේ බස් එකේ. අර සුපුරුදු පොඩි වෙච්ච සිලි මල්ලත් වරදින්නේ නැහැ. 

කැම්පස් එකෙන් අයින් වෙලා අවුරුදු කීපයකින් ආරංචි උනා අබේසිංහ සර් ව බම්බලපිටියේදී කෝච්චියකට හැප්පුනා කියල. ඒ අනතුරෙන් එතුමාගේ අතකට බරපතල හානි සිදු උනා. පස්සේ බොහොම දුක් විඳලා එතුමා මිය ගියා. කිසිදා එතුමාගෙන් ගණිතය ඉගෙන ගෙන නැතත් හැමෝම වගේ මමත් එතුමාට නිවන් සුව පතනවා..
 
මේ බතීගේ වචන එතුමා ගැන නොදන්නා කෙනෙකුට පැහැදිලි චිත්‍රයක් මවයි:
"අබේසිංහ සර් මිය ගියා අන්තිම අහිංසකයෙකු ලෙස මීට වසර දෙකකට පමන පෙර. මට මතකයි බුලර්ස් පාරේ බස් නැවතුම පලේ මිටි කොන්ක්‍රීට් කනුව මත වාඩිවී බසය එනතුරු බිම බලා සිටිනා අබේසිංහ සර්. මාත් පසෙක මගේ බසය එනතුරු."


දවල්ට කන වෙලාවට කැන්ටිමේදී දකින අමතක නොවෙන චරිතයක් තමයි වතුගල අයියා. රැලි වැටුන දිග කොණ්ඩය සහ රැවුල දකිනකොට මතකයට එන්නේ හේනානිගල ආදිවාසියෙක් ව. එත් පුදුමෙකට වගේ කැන්ටිමේ කන හැමෝම කාල ඉවර වෙලා තමන්ගේ ඉඳුල් පිඟාන මේසේ උඩ තියල ගිහින් අත හොදගනිද්දී වතුගල විතරක් පිඟානත් අරගෙනම ටැප් එක ලඟට යනවා. 

මුලින්ම කරන්නේ තමන්ගේ පිඟාන හෝදන එක. ඊට පස්සේ අත හෝදගෙන පිඟාන කැන්ටිමේ බත් බෙදන පැත්තෙන් ගිහින් තියනවා. එතකොට හිතෙන්නේ කැන්ටිමේ කන එකම ශිෂ්ට සම්පන්න මනුස්සය වතුගල විතරක් බවයි. 

වසර 3 - 4 ක ජෙෂ්ටයෙකු වූ වතුගල ඔවුන්ගේ කණ්ඩායමේ හැමදාමත් බැජ් ටොප් බව බොහොම ඉක්මනින්ම දැනගන්න හම්බ උනා. ඔවුන්ගේ උපාධි ප්‍රධානෝත්සවයේදී ජාතික ඇඳුමෙන් සැරසී ඊට සහභාගී වූ එකම කෙනා වතුගල කියල ආරංචි උනා. පළවෙනියට නම කතා කරලා වේදිකාවට ගොඩවෙද්දී ශාලාවේ පොඩි සූවක් ගියාලු. ඒ වතුගලව දැකල නැති අනිත් පීඨ වල සිසුන්ගෙන්. එත් ඊට පස්සේ වතුගලගේ නම නැවත නැවතත් කියමින් ඔහුට වේදිකාවෙන් බසින්නට නොහැකි වී තිබෙන්නේ එම වසරේ වැඩිම පදක්කම් සහ සහතික හිමි සිසුවා ලෙසටයි.

ඕපන් එක තියෙන්නේ කැම්පස් එකේ ග්‍රවුන්ඩ් එක හෙවත් ක්‍රීඩාපිටිය අද්දර. උදේ පාන්දරින්ම කැන්ටිමට අවොත් දකින්න තියන දර්ශනයක් තමා මේ ක්‍රීඩා පිටියේ කඩුළු මතින් දුවන්නට පුහුනුවෙන උස කළු හාදයෙක්. මේ තමයි කුලාන්. 

මේ වෙනකොටත් කඩුළු මතින් දුවන විශ්ව විද්යාල ශූරතාවය හිමිකරගෙන හිටිය කුලාන් හැමදාම උදේ 7.30 වෙනකොට පුහුණුවීම් පටන්ගත්ත. බොහොම මහන්සියෙන් තමන්ගේ පුහුණුවීම් කරන කුලාන්, පුහුණුවෙන් පස්සේ කැන්ටිමට ඇවිත් කෙහෙල් කොලේ ඔතපු මහා විසාල බත් එකක් කනවා. 

තමන් කරන දේ බොහොම කැපවීමෙන් කරන කුලාන් දක්ෂ උනේ ක්‍රීඩාවට විතරක් නෙමෙයි. පළමු වසරේදී බැජ් ටොප් හෝ ඊට ආසන්නම වෙන්නත් කුලාන්ට පුළුවන් උන බව මතකයි. පසුව ගණිත විශේෂ උපාධිය සම්පූර්ණ කරපු කුලාන් මේ වෙනකොට කැන්ගරු දේසේ තමන්ගේ ආචාර්ය උපාධියත් ඉවර කරලා ආචාර්ය වරයෙක් විදිහට කටයුතු කරනවා. ඒ වගේම තමා පිටියේ තරඟ වලින් තවමත් සුද්දන් අතරේ පළවෙනියට මේ කළු අස්සයා එන්නේ අපේ රටට ආඩම්බරයක් දෙමින්.

ඊළඟට කියන්න යන්නේ පිස්සා ගැන. 

කැම්පස් එකේ වැඩියෙන් හිටියේ මම වගේ සාමාන්‍ය තරමේ කට්ටිය තමා. ඉස්කෝල වල හිටිය හොඳටම වැඩ කරන එවුන් ටික මොරටුවටයි පෙරදෙණියටයි  ගියහම ඊට පස්සේ හිටිය පිස්සු නටපු average එවුන් තමයි කොළඹ සයන්ස් කරන්න එන්නේ. දෙය්යන්ගේ පිහිටෙන් කිසිම දෙසපාලනයක් කරන්න, රැග් කන්න ඕනේ වෙන්නේ නැති මේ ෆැකල්ටියේ තමන්ගේ පාඩුවේ තමන්ට කැමති දෙයක් කරගෙන ඉන්න පුළුවන්. අල්කෙමියගේ පොස්ටුවකට කොමෙන්ටුවක් දාපු කෙනෙක් අහල තිබ්බ රැග් එක කාපු නැති කෙනෙක් ඉදිරිපත් වෙන්න කියල. ඔන්න ඉන්නවා තොගයක්ම.

ඉතින් මේ වගේ ජනතාවක් අතරෙත් ඉන්නවා මෝටර් වගේම මීටර් කීපයකුත්. කුලාන් කියන්නේ අධ්‍යාපන වැඩ වලට මෝටරයක්. මේ අපහාසෙකට එහෙම කියන දෙයක් එහෙම නෙමෙයි. මීටරෙකුත් නොවන, මෝටරේකුත් නොවෙන මම වගේ අයට වැඩි දක්ෂ අයගේ එක කොට්ටාශයක් ගැනයි කිව්වේ. මට අධ්‍යපනෙත් වැඩිය බැහැ ක්‍රීඩාව කොහොමටවත් බැහැ.

මේ මීටර් අතරිනුත් මීටරේ තමයි පිස්සා. පිස්සට පිස්සා කියන්නේ ඌට පිස්සු නිසා. කොයි වෙලෙත් පිස්සු නටන එක තමයි කරන්නේ. මම හිතන විදිහට පිස්සාගේ මීටරේ උපතින්ම ආව එකක්. පැමිණීම ගණන් කරන අත්‍යවශ්‍යම දේශනෙකට ඇරෙන්න වෙන කිසිම දේශනෙකට පිස්සා යන්නේ නැහැ. හැම වෙලේම ඉන්නේ කැන්ටිමේ. ඒ ඉන්න ගමනුත් කරන්නේ මොකක් හරි පිස්සු වැඩක්. 

වාසනාවට මේ කියන කාලේ විභාග තියෙන්නේ අවුරුද්දට එක පාරක් විතරයි. ඉතින් අපිත් කැන්ටිමට වෙලා මොනවා හරි විකාරයක් කර කර දවසෙන් වැඩි කාලයක් ගත කරනවා. වෙලාව ලැබෙන විදිහට දේශන වලට ගොඩ වෙලා එන්න යනවා. මෙහෙම ඉඳල විභාගයක් ලං උනහම දෙලොව රත් වෙනවා. 

මේ වගේ වෙලාවට පිහිටට එන්නේ කුප්පි. කවුරු හරි විෂය ගැන හොඳට දන්නා කෙනෙක් කට්ටියව කොහේ හරි තැනකට එක්කගෙන ගිහින් අවුරුද්දක් උගන්නන ඒවා එක දවසින් ප්‍රගුණ කරවන එකට තමයි කුප්පි කියන්නේ. 

පිස්සා මේ කුප්පි වලටත් එන එකෙක් නෙමෙයි. පිස්සා කරන්නේ තමන්ට ලියන්න තියන විෂයේ පොතක පිටු පෙරලගෙන යන එක විතරයි. විනාඩි 10 කින් පිස්සාට පුළුවන් ඕනෙම විෂයක් අපිට උගන්වන්න.
 
පරිගණක අන්සෙන් මේ කුප්පි වලට වැඩිහරියක් වග කිව්වේ ජාවා සම්පත්. එත් මේ විෂයේ ප්‍රයෝගික පරිෂණ තමයි වැඩියෙන් තියෙන්නේ. මේ වෙලාවට පිහිටට එන්නේ පිස්සා. 

මුල් වසර වල පිස්සා උදව් නොකරපු පරිගණක පැවරුමක් කරපු අය ඉන්නවා නම් ඒ අතේ ඇඟිලි ගානට කිව්වොත් වැරදි නැහැ. උදව් කරලත් ගොඩ දාගන්න බැරි කීප දෙනාට පිස්සාගේ ගෙදර පැවරුම දෙන්න තියන දවසට කලින් දවසේ මහා පැවරුම් රාත්‍රියක්, කෑමබීම නවාතැන් සමග. රෑ එළිවෙනකන් වගේම පහුව දා දවල් වෙනකනුත් හැමෝගෙම වැඩ කරන පිස්සා තමන්ගේ පැවරුම දෙන්න යන්නේ හවස 4 ට විනාඩි 5 කට කලින් දුවගෙන.

මහන්සි නොවී ප්‍රීතියෙන් කල් ගෙවීම පරම අරමුණ කරගත් පිස්සා ඒ විදිහට ඉන්න පුළුවන් තරම් කල් හිටිය. අන්තිමේ දැනට මාස කීපෙකට කලින් මට කතා කරපු වෙලාවේ කිව්වා පිස්සාගේ ආචාර්ය උපාධිය මීටත් වැඩිය අදින්න බැරි නිසා සම්පූර්ණ කරන බවත්, ඒ සමගම කුප්‍රකට ගූගල් නම් වැඩපොලෙන් රැකියා අවස්ථාවක් ලැබුන බවත්ය. 

වෙන කිසිවෙකු මෙසේ පැවසීනම් (වෙන කිසිවෙක් මේසේ පවසා නැත) මගේ ප්‍රශ්නය වනුයේ 

"සුබපැතුම්, කවදද වැඩ පටන්ගන්නේ?" යන්නයි. 

නමුත් පිස්සාට පිස්සු බැවින් මගේ ප්‍රශ්නය උනේ

"ඉතින් උඹ යනවද?" යන්නයි.

"ඔව් බන්, මේක මුන් ඉස්කොලෙටම ඇවිල්ල ඉන්ටෙව් කරලා ගත්තේ. වෙන ඒවාට යන්න මහන්සි වෙන්න බෑ, මේකට යනවා"

විමල් ඇමති තුමා කීවත් වැඩක් වන එකක් නැත. 'මට මෙතෙක් හමුව ඇති හොඳම මොළය' (මීට සමාන දෙයක් වරක් මහාචාර්ය V.K.සමරනායක ද පිස්සා ගැන පැවසීය!) වුවද පිස්සා පිස්සෙක් වීම නිසා ගූගල් එකේ වැඩට ගියේය. 

අනේ අපි නම් යයි ඕවයේ පස් පාගන්න!

Thursday, March 8, 2012

අපිට අං ඇවිල්ලද? - Are we getting Horny?

  • බස් ගාස්තු වැඩි වෙච්ච එක මිනිස්සුන්ට දැනෙන්නේ නැහැ. මිනිස්සු බස් වල යන්න පොර කනවා. කොහේ වත් බස් වල යන සෙනඟ අඩු උනා කියල වාර්තා වෙන්නේ නැහැ - ප්‍රවාහන ඇමති පාර්ලිමේන්තුවේදී  (මාර්තු 7 දා)
---------------------------------
  • බස් ගාස්තු වැඩි නිසා හාමුදුරුවන්ට නොමිලේ බස් වල යන්න ඉඩ දෙන්න - විපක්ෂය පාර්ලිමේන්තුවේදී (මාර්තු 7 දා)
  • ඔබතුමාලගේ ආණ්ඩුව තියන කාලේ හාමුදුරුවන්ට නොමිලේ යන්න දෙන්න තිබ්බනේ; එදා කරන්නේ නැතුව දැන් මෙතන කයිය ගහන්න එනවා - ඇන්. සිරිපාල පාර්ලිමේන්තුවේදී (මාර්තු 7 දා)
---------------------------------
  • ඉස්සරහට ලෝකේ දරුණු අහාර හිඟයක් එනවා. එතකොට ඔය තෙල් තියන රටවල් වලට කන්න නැතුව යනවා. එතකොට අපිට පුළුවන් හාල් දීලා තෙල් ගන්න. එතකන් පොඩ්ඩක් ඉවසගෙන ඉන්න. - කෘෂිකර්ම ඇමති මහින්ද යාපා (මාර්තු 8 දා)
---------------------------------
මේ පහුගිය දවස් දෙකට ලේ කෝප වෙන්න ඇහුන කතා 3 ක් විතරයි. ඔන්න අපේ වාසනාවට ඊගාවට කවද හරි රට කරවන්න 'පොඩි' සම්භාවිතාවක් තියන එක්කෙනා කියන දේ...
  • අපි ගම් මට්ටමෙන් බිම් මට්ටමෙන් සංවිදානය වෙලා මේ ආණ්ඩුව පෙරලලා එක්සත් ජාතික පාක්ෂිකයන්ව සුඛිත මුදිත කරන්නට, නැවතත් එක්සත් ජාතික පාක්ෂිකයන්ට බලය අරන් දෙනවා. - සජිත් ප්‍රේමදාස (බොහෝ කාලයක සිට) [යුඑන්පි කාරයන්ට බලය නැති එක තමා දැන් තියන එකම ප්‍රශ්නේ?]
අපි ඔක්කොම හරක්ද?

ප.ලි:  මේ කාලෙකට කලින් ප්‍රවාහන ඇමති තුමා තවත් ඇමතිවරු රොත්තක් හිටපු වේදිකාවකදී කිව්වා මතක හිටපු කතාවක්:

"දේශපාලනේට එන්න අධ්‍යාපන සුදුසුකම් බැලුව නම් අද මම මෙතන නැහැ. මමත් නැහැ මේ ඇමති තුමත් නෑ, අපේ නියෝජ්‍ය ඇමති තුමත් නෑ. මේ සරත් අමුණුගම මහත්තය විතරක් ඉඳියි"

Sunday, March 4, 2012

DC 8 ගුවන් යන්තරේ - Martin Air Flight 138

1995 වසරේ දෙසැම්බර් මාසයේ දිනක කොලොම්බියවේදී මහා ගුවන් අනතුරක් සිදුවිය. අනතුරින් 150 කට අධික ගුවන්යානයේ ගමන් ගත් පිරිසක් ජීවිතක්ෂයට පත්වුහ.

කාලි යනු කොලොම්බියාවේ නගරයකි. මේ නගරය හතර අතින්ම කඳු පන්ති වලින් වට වී ඇත්තකි. ගුවන්යානයේ ගමනාන්තය වුයේ කාලි නගරයයි.

අති නවීන බෝයින් වර්ගයේ ගුවන් යානය පදවුයේ ඉතා පළපුරුදු, එමෙන්ම සැහෙන වතාවක් කාලි නගරයට මෙම ගුවන්යනයේම පියාසර කර ඇති නියමුවන් දෙදෙනෙකි.

කඳු පන්ති අතර සැඟවුන ගුවන්තොටුපොළට එක එල්ලේ පියාසර කල නොහැක. එබැවින් ගමන් ලක්‍ෂ (way points) කීපයක් පසු කර කවාකාර මගකින් කඳු මගහරමින් ගමන් කල යුතුය. සෑම ගමන් ලක්ෂයකදීම ගුවන් නියමුවන් විසින් ඊළඟ ගමන් ලක්ෂයේ තොරතුරු ගුවන් යානයේ ස්වයංක්‍රීය පද්ධතියට ඇතුළු කල යුතුය. ගුවන් නියමුවන් දෙදෙනාම මේ අභ්‍යාසය මැනවින් ප්‍රගුණ කලවුන්ය.

අනතුර සිදුවූ දින රාතියේදී ගමන් ලක්‍ෂ කීපයක් සාර්ථකව පසු කල ගුවන් නියමුවන්, ගුවන් තොටුපොළේ පාලක මැදිරියෙන් ගොඩබෑම සඳහා ධාවන පථයක් ඉල්ලා සිටියහ. ආරම්භයේ සිටම ප්‍රමාධ වී තිබුන ගුවන් යානයට රේඩාර් පද්ධතිය අබලන්වූ ගුවන් තොටුපොළේ පාලක මැදිරියෙන් ගුවන් පථයක් වෙනකරදෙන ලදී.

තම වේගය හා ගමනාන්තය සලකා බැලූ ගුවන් නියමුවන්ට හැඟී ගියේ තමනට වැඩි කාලයක් නොමැති බවය.

නොඉවසිල්ලෙ සිටි ඔවුන් යුහුසුළුව ගුවන් යානය ගොඩබෑමට අවශ්‍ය කටයුතු සුදානම් කළහ. මේ අතරම ඊළඟ ගමන් ලක්ෂයට අවශ්‍ය දත්ත පරිගණකයට ඇතුළු කල යුතුය. එමෙන්ම තම වේගය අඩු කිරීම සඳහා තිරිංග ක්‍රියාත්මක කල යුතුය. ගුවන් මගීනට තමන්ගේ ගමනාන්තය ආසන්න බව මතක් කල යුතුය.

මේ සියලු කාරණා අස්සේ ගුවන් නියමුවා පරිගණකයට ඇතුළු කලේ වැරදි ගමන් ලක්ෂයකි. ගුවන් යානය ස්වයන්ක්‍රීයව වෙනතක් බලා ඇදෙන්නට විය. කලබලෙන් සිටි නියමුවන්ට මේ බවක් අවබෝධ නොවින.

ගුවන් තොටුපලට ඇත්තේ තව එක් ගමන් ලක්ෂයක් පමණි. රෙඩාරය නොමැති ගුවන් තොටුපොළේ පාලක මැදිරියෙන් නිරන්තරයෙන්ම අවසන් ගමන් ලක්ෂය පසු කරාදැයි විමසා සිටින්නට විය. නමුත් ගුවන් නියමුවන්ට තමන් එම ලක්ෂය කරා ලං වනවා වෙනුවට ඉන් ඉවතට ඇදී යන බව පෙනෙන්නට විය.

තවත් කලබලයට පත් වූ නියමුවන්, එම ලක්ෂය වෙනුවට කෙලින්ම ගුවන් තොටුපොළට ගමන් කිරීමට තීරණය කලහ.

ගුවන් යානය මාරාන්තික හැරවුමක් කළේය. ඒ ගුවන් තොටුපොළට මුහුණලාය. නමුත් ගුවන් යානයත් තොටුපොලත් අතර විශාල කන්දක් ඇති බව නියමුවන්ට අවබෝධ වුයේ ගුවන් යානයේ ස්වයංක්‍රීය අනතුරු ඇඟවීමේ පද්ධති නද දීමට පටන්ගත් විටය.

නියමුවන් යුහුසුළුව යානය පොළව මට්ටමෙන් ඉහලට ගැනීමට කටයුතු කලහ. නමුත් ගොඩ බෑම සඳහා තිරිංග යොදා ඇති බව ඔවුන්ට අමතක විය.

ප්‍රතිඵලය පළාතම ගිගුම් දෙමින් කන්දේ හැපී සුනු විසුනු වූ ගුවන් යානයකි. දිවි ගලවා ගැනීමට හැකි වී ඇත්තේ සිවු දෙනෙකුට පමණි.

ගුවන් යාන පැදවීමේ මූලික මූලධර්මයක් ලෙස සඳහන් වනුයේ තමන් අතරමන් වී ඇති බවක් හැඟේ නම් වහාම ගුවන් යානය පොළවෙන් ඉහල ආරක්‍ෂිත මට්ටමකට රැගෙන යෑමය. ඒ වෙනුවට මෙම පළපුරුදු නියමුවන් කරේ ගුවන් තොටුපොල වෙත යොමු කිරීමය.

මේ හා සමානම සිදුවීමක් මීට බොහෝ කලකට පෙර සිදු වූ බව අසා ඇත්තෙමි.

මුලින්ම ඒ ගැන අසන්නට ලැබුනේ ඇන්ටන් ජෝන්ගේ හඩිනි. DC 8 ගුවන් යන්තරේ යනුවෙන් කියවෙන ගීතයකිනි.

පසු කලෙක අනතුර සිදු වූ සප්ත කන්‍යා කඳු වැටියටම යාමට අවස්ථාව උදා වුයේ විනෝද චාරිකාවක ප්‍රතිඵලයකිනි. කොළඹ හැටන් මාර්ගයේ ලක්ෂපාන දිය ඇල්ල නැරඹීමට යාමේදීය.

පසු කලෙක දැනට ඇමෙරිකානු ගුවන් සමාගමක රැකියාව කරන මිත්‍ර වැඩිහිටියෙකුගෙන් සප්ත කන්‍යා ගුවන් අනතුර ගැන මෙතෙක් නොඇසූ යමක් අසන්නට ලැබිණ. ඇමෙරිකාවට පැමිණීමට පෙර කලක් 'එයාර් ලංකා' ආයතනයේද රැකියාව කල බැවින් මෙය සත්‍ය වශයෙන්ම සිදුවුවකැයි සිතමි.

ගීතයේ සඳහන් වන DC 8 ගුවන් යානය ඉන්දුනීසියාවේ සිට මක්කම බලා ගමන් ගත්තකි. කටුනායකින් ඉන්ධන ලබාගැනීමට බලාපොරොත්තුවෙන් පැමිණියකි.

ලංකාවට ඇතුළු වූ ගුවන් යානය කලින් සඳහන් කල යානය මෙන්ම ගුවන් තොටුපොල සමග අදහස් හුවමාරු කරගැනීමට පටන්ගත්හ. කටුනායක යනු ඉතා කුඩා ගුවන් තොටුපොලකි. ගුවන් යානය ගොඩ බෑම සඳහා අවශ්‍ය උපදෙස් ගුවන් තොටුපොල මගින් ලබාදෙන අතර යානයේ පිහිටීම ගැන තොරතුරු හුවමාරු කෙරින.

හදිසියේම ගුවන් යානයෙන් සඳහන් කෙරුනේ නියමුවන්ට ධාවන පථය දර්ශනය වන බැවින් ගොඩ බෑමට සුදානම් වන බවය. නමුත් ගුවන් තොටුපොළේ යන්ත්‍රවල ගුවන් යානයක් අසලකවත් නොවීය.

මොහොතකින් ගුවන්යානය සමග තිබු සියලුම සන්නිවේදනය නිම විය. සප්ත කන්‍යා කඳු වැටිය විසින් ගුවන් මග අවුරා තිබිණ.

සප්ත කන්‍යා කඳු වැටිය ආසන්නයේම ලක්ෂපාන විදුලි බලාගාරය පිහිටා ඇත. ලක්ෂපාන ජලාශයේ සිට බලාගාරය වෙත ජලය ගෙනයාමට විශාල ලෝහ නල මඟක් කන්ද මතින් එලා තිබේ. මේ නල මඟ දෙපස විදුලි බුබුළු දල්වා ඇත.

රාත්‍රියේ කිසියම් කාරණයක් නිසා පොලවට ලංවූ DC 8 ගුවන් යානයේ නියමුවන්, ගුවන් තොටුපොළේ ධාවන පථය ලෙස වරදවා වටහාගෙන තිබුනේ මෙම නල මාර්ගයයි.

මෙම ගුවන් අනතුරු වලින් මිය ගිය බොහෝ දෙනා, අනතුරට කිසිම ආකාරයෙන් සම්බන්ධයක් නොවූ අය වෙති. නමුත් ඔවුන්ගේ ජීවිත වලට අපටද වටිනාකමක් දිය හැක. ඒ මෙවන් සිදුවීම් වලින් කිසියම් හෝ ප්‍රයෝජනවත් දෙයක් ජීවිතයට එක් කරගැනීමෙන්ය.

කොතරම් දැන උගත් පළපුරුදු අයෙක් වුවත් සරල මුලික දේ වලට ගරු කිරීම එකකි.

මම ප්ලේන් ගැන දන්න කෙනෙක් නම් නෙමේ ඔන්න. අරහෙන් මෙහෙන් ඇහුන, කියවපු දේවල් තමා මේ...

ජයාරූප උපුටාගැනීම: wikipedia