Monday, January 30, 2012

මගේ හීනේ - My Dream

උදේට බස් එකෙන් බැස්ස ගමන් දකින්න තියෙන්නේ දම් පාට මල් රේණු වලින් වැහුන පාර. College House එක ළඟ ඉඳල Campus Ground එක පහු කරගෙන Open එකට යනකම්ම එහෙම තමා. කෙලින්ම ගියේ කැන්ටිමට. පාන් බාගයයි පරිප්පුයි; බැදපු හාල්මැස්සෝ එකක් ගන්නත් සල්ලි තියනවා වගේ.

අද මොකද මේ එකෙක් වත් වැඩිය සද්දයක් නැත්තේ? වෙනදට නම් කැන්ටිමේ හරි ගෝසාව. එත් අද වැඩිය සෙනගත් නැහැ, සද්දෙත් නැහැ. ඒකෙන් මේකෙන් පාන් බාගෙට වැඩේ දීල ප්ලේන් ටී එකක් අරගෙන නුග ගහ පැත්තට ගෑටුව. බොලේ මෙන්න කට්ටියම ෆයිල් දිගරගෙන හෝ ගාල වැඩ. "මොකද තොපි මේ උදේ පාන්දරම?" මම ඇහුව. හැම එකාම මගේ දිහා බැලුවේ නිකන් අමුතු සතෙක් දිහා බලනවා වගේ.
"ඇයි උඹට අසනීපයක්ද? නැත්නම් උඹ ඔක්කොම පාඩම් කරලා ඉවරද? ඊයේ තිබ්බ කුප්පියටත් උඹ අවේ නැත්තේ එක නේද?"

"මොකක්ද මේ අණ්ඩර දෙමළෙ?"

"ඇය යකෝ අද පියෝ පේපර් එක නේ!"

"අම්මට හුඩු!"

කොල්ලන්ගේ ඇස් එලියට පනින්න වගේ. මට නුග ගහයි වටේ තියන building ටිකයි කැරකෙනවා වගේ. බඩ ඇතුලේ ඉඳල මොකෙක්ද සතෙක් එලියට එන්න දඟලනවා වගෙත් දැනෙනවා.

"කාගේ පේපර් එකද අද?"

මට යන්තමට වගේ මතකයි පියෝ උගන්නන්න දෙන්නෙක් ඉන්නවා වගේ.
"එදිරිසින්හයගේ..."

මම කලබලෙන් පෙරලලා බැලුව මගේ රෝල් කරගෙන හිටිය ෆයිල් එක, වැරදිලාවත් මොකුත් note එකක් තියනවද කියල. මොකුත් නැහැ, හිස් කොළ ටික විතරයි.
මළ කෙලියයි. දැන් මොකද කරන්නේ? දැන් මොකුත් බලාගන්නවත් වෙලාවක් නැහැ. 9 ට එක්සෑම් එක. ඕනේ ...ක් ප්‍රීති වෙසක් කියන්න තමා වෙන්නේ. ෆේල් වෙනවා ෂුවර් අද නම්.

අද නම් කෙල වෙන්නයි යන්නේ. මට වමනේ යන්න ඔන්න මෙන්න.

පොඩ්ඩක් මතක් කරගන්නවත් එදිරිසින්හය ලෙක්චර් එකක කියපු දෙයක් වත්...

ම්හ්හ්.. යකෝ මම කවදාවත් උගේ ලෙක්චර් එකකට ගිහින් නැහැ නේද? හොඳ වැඩේ මට, ලෙක්චර් කට් කරලා කොල්ලොත් එක්ක කැන්ටිමට වෙලා වල් පල් කියෝ කියෝ හිටියට. මෙහෙම වෙලා මදි මට. අඩු ගානේ මම කුප්පියකටවත් ගිහින් නැහැ වගේ. පියෝ වල 'පි' යන්නවත් මම දන්නේ නැහැනේ...

අඩේ මම මේ සබ්ජෙක්ට් එක කරන්නේ නැහැ නේද? පොඩ්ඩක් හිටපන් බලන්න...
මට යන්තමට මතකයි වගේ මම ඩිග්‍රිය කොම්ප්ලිට් කරා වගේ. අර සහතිකෙත් ගත්ත නේද?
අම්මට සිරි, මම දැන් ජොබකුත් කරනවා නේද? අයෙත් එහෙනම් මොන මගුලකටද මේ එක්සෑම් ගැන කරදර වෙන්නේ.

හුරේ හුරේ! මට එක්සෑම් ලියන්න ඕනේ නැතෝ!
මේක හීනයක් වත් ද?
එත් එක්කම ඔලුවට පොල්ලෙන් ගහල පන ආව වගේ ඇස් දෙක අරුණා. අයියෝ ආයෙත් එකම හීනේ නේද? දැන් අවුරුදු ගානක ඉඳල පේන;
හෙට උදෙන්ම වැඩට යන්නත් එපැයි. තව ටිකක් හොඳට නිදාගන්න ඕනේ... 
කොට්ටත් බදාගෙන මම අනිත් පැත්තට හැරුණා...